ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කැබිනට්,රාජ්‍ය සහ නියෝජ්යඅමාත්යවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් පසුව මාසයකට වැඩි කාලයක් එම අමාත්‍යාංශවල හා කාර්යාලවල කටයුතු ඇනහිට තිබෙන බව අමාත්‍යවරුන්ගේ ලේකම්වරුන්ගේ සංගමය පෙන්වා දෙයි.
නිලධාරීන් හා සේවකයන් උදෑසන කාර්යාලවලට පැමිණ සවස පිටව යෑම හැර වෙනත් වැදගත් කාර්යයක් අදාළ අමාත්‍යාංශවල සිදුනොවන බවත්,මේ හේතුවෙන් මහජනතාව දැඩි ලෙස අපහසුතාවට ලක්ව සිටින බවත් එම සංගමයේ ලේකම් අජිත් ජයසුන්දර මහතා පැවසීය.
අමාත්‍යාංශයක ඇමතිවරයා වශයෙන් සිදුකළ යුතු කාර්යභාරය ඇනහිට තිබෙන බැවින් ප්‍රධාන ලේකම්වරයා විසින් අමාත්‍යාංශයේ එදිනෙදා කටයුතුවලට අයත් සේවකයන්ගේ පැමිණීම,පිටවීම, වැටුප් ආදිය සකස් කිරීම ගැන පමණක් සොයා බලන බව ඒ මහතා ප්‍රකාශ කළේය.
කම්කරු,ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා,සමෘද්ධි,ආපදා කළමනාකරණ,විද්‍යා හා තාක්ෂණ,ක්‍රීඩා,නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු යන කැබිනට් අමාත්යාංශයවලද,මහාමාර්ග,ඉඩම්,රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන,නගර සැලසුම් හා ජලසම්පාදන යන රාජ්‍ය අමාත්‍යාංශවලද,වනජීවී,රාජ්‍ය පරිපාලන, වැවිලි කර්මාන්ත,විදුලි සන්දේශ,මහවැලි සංවර්ධන හා පරිසර යන නියෝජ්‍ය අමාත්‍යාංශවලද මෙම තත්ත්වය දැකගතහැකි බවද ලේකම්වරයා සඳහන් කළේය.
මෙම පසුබිම තුළ රට පත්ව ඇති කනගාටුදායක තත්ත්වය පිළිබඳ මාස දෙකක් ඇතුළතමහානායක හිමිවරුන්,දේශපාලන පක්ෂ නායකයන් හා මහජනතාව දැනුවත් කිරීමට තම සංගමය තීරණය කළ බවද අජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.