19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කල් දමන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ ඉල්ලීම රජය විසින් ඊයේ (06දා) ඉවත දමනු ලැබීය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡාවට ගැනුණු අතර, ශ්‍රී.ලං.නි.ප.ය වෙනුවෙන් ඊට සහභාගී වූ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් සෙනෙවිරත්න හා හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරු එම විවාදය කල්දමන ලෙස ඉල්ලා සිටියහ.
පසුගිය 29 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ ව්‍යවස්ථා සංශෝධන ලියවිල්ල හා වර්තමාන ලියවිල්ල අතර වෙනස්කම් ඇති බැවින් ජනතාවට ඒ සම්බන්ධව අදහස් දැක්වීමට අවස්ථාව ලබාදිය යුතු බවට ඔවුහු එහිදී අදහස් මතුකළහ.
කෙසේ නමුදු ඒ සඳහා රජය වෙනුවෙන් සහභාගී වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරු ඊට විරෝධය පළකළහ. ඔවුන් කියා සිටියේ අදාළ විවාදය නියමිත දිනයන් වන ලබන 09 සහ 10 යන දෙදින තුළ පැවැත්විය යුතු බවයි.