ශ්‍රී ලංකාවේ අපනයන ආදායම දළ ජාතික නිෂ්පාදිතයෙන් 1% ක පමණ අගයක් බවත් එය සමාන්තර රටවල් හා සසඳා බැලීමේදී සතුටුදායක තත්ත්වයක නොපවතිව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අපනයන ක්ෂ්ත්රයේදී රජයට වඩා ඉදිරියෙන් සිට පෞද්ගලික අපනයනකරුවන් කටයුතු කරන බවත් ඔහු පවසා සිටියේය.
අද (14දා) පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති ජනාධිපති අපනයන සම්මාන උලෙළ අමතමින් ජනපතිවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
"ජාත්‍යන්තර සංවිධාන මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආයතන ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස පිළිගෙන තිබුණ ද රට අභ්‍යන්තරයේ පවතින ආර්ථීක විෂමතා දුරලීමට රටේ ආර්ථික ක්‍රියාවලිය මෙහෙයවීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව තිබෙනවා.
ජාතික ආර්ථීක සභාව පිහිටුවීමේදී මෙම තත්ත්වය සැලකිල්ලට ගනු ලැබූ අතර, ග්‍රාමීය ආර්ථීකය ශක්තිමත් කිරීම හා දේශීය කෘෂිකර්මාන්තය නගාසිටුවීම ද ඒ තුළ ප්රමුඛ අරමුණක් වූවා" යැයිද පවසා සිටියේය.