ශ්‍රී ලංකාව සමග අමනාප වූ ලෝකයේ කිසිම රටක් හෝ රාජ්‍ය නායකයෙකු නොමැති බවත්, ලෝකයේ ප්‍රබල රාජ්‍යවල පවා පූර්ණ ආශීර්වාදය ශ්‍රී ලංකාවට ලැබී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
පොළොන්නරුව නව නගරයේ කලාප අධ්‍යාපන කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට ඊයේ (10දා) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
රටට ලැබී ඇති අන්තර්ජාතික සහයෝගීතාව තුළ ප්රබුද්ධ රටක් ගොඩනැගීමට උත්සාහ කළ යුතු බවත්, දරුවන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කිරීම වෙනුවෙන් කළ හැකි සියලු දේ නොපිරිහෙළා ඉටුකරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
රටේ පාසල් තුළ මූලික පහසුකම්වල තත්ත්වය පහළ මට්ටමක ඇති බවත්, භෞතික සම්පත් සංවර්ධන පිළිබඳ උදම් අනන සංවර්ධනයට අනුව කොළඹ නගරය අලංකාර කරමින් මුළුමහත් රටම ඒ ආකාරයෙන් යැයි කීම ව්‍යාජ බවද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
තවද මෙරට සාක්ෂරතා ජාතික ප්‍රතිශතය 96% ක් බවත්, ඉදිරි අධ්‍යාපන සැලසුම් සහ අනෙකුත් පොදු සැලසුම් තුළ සමස්ත ජනතාවගේ සාක්ෂරතාව 100% ක් දක්වා ඉහළ නංවාගැනීමට උත්සාහ කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.