ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම ඉතා වැදගත් හැරවුම් ලක්ෂයකට පැමිණ තිබෙන බවත්, දැනට රටවල් දෙක අතර වෙළෙඳාම 6.3% කින් ඉහළ ගොස් ඇති බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
වාණිජ මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කළ ඉන්දු ලංකා ආර්ථික සංවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ රජයන් දෙකම ද්විපාර්ශවීය වෙළෙඳාම පුළුල් කිරීමේ උපායමාර්ගික සැලසුම් සකස් කරමින් සිටින බවත් මෙය ඉතිහාසයේ ඉතාමත් වැදගත් කඩඉමක් වනු ඇති බවත් ඒ මහතා පෙන්වා දී තිබේ.
පසුගිය වසරේ දී පමණක් මුළු ද්විපාර්ශ්වික වෙළෙඳාම ඇ.ඩො. බිලියන 4.91ක් දක්වා වර්ධනය වී තිබෙන බවත් පසුගිය කාලයේ දී ඉන්දියාවෙන් මෙරට නිෂ්පාදන ලබාගැනීම සැලකිය යුතු ආකාරයකින් වාර්ධනය වී තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.
විශේෂයෙන්ම මෙරට නිෂ්පාදිත බීජ වර්ග, ගම්මිරිස් හා නාවික යාත්‍රා මෙන්ම ප්‍රධාන අපනයනයක් වන ඇඟලුම් ද ඒ අතර වන බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.