'සතුට' පිළිබඳ ලෝක දර්ශකයේ ස්ථාන පහළොවකින් ඉදිරියට ශ්‍රී ලංකාව පැමිණ තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වාර්ෂිකව පළකෙරෙන 'සතුටින් සිටීම පිළිබඳ ලෝක දර්ශකයේ’ පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට 132 වැනි ස්ථානය හිමිව තිබූ අතර මේ වසරේ දර්ශකය තුළ 117 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකාව සමත් වී සිටියි.
දළ ජාතික නිෂ්පාදනය හා ආයු අපේක්ෂාව සැලකිල්ලට ගනිමින් රටවල් 157 ක් ඇසුරින් මෙම දර්ශකය සකස් කරනු ලබයි.
සතුට පිළිබඳ මෙම වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සකසනු ලබන්නේ සෑම රටකින්ම පුද්ගලයන් දහසක සංඛ්‍යාවක් යොදාගනිමින් වන අතර, වසරකට වතාව බැගින් වසර තුනකදී කරනු ලබන අධ්‍යයනයකින් ලැබෙන දත්ත සලකා බැලීමෙන් වාර්තාව සකස් කරනු ලැබේ.
මෙවරද ඩෙන්මාර්කය ලොව සතුටින්ම සිටින රට ලෙස තම ස්ථානය රැකගෙන සිටින අතර, ලොව අසතුටින්ම සිටින ජනතාව සිටින්නේ බුරුන්ඩි රාජ්‍යයේ බවට එහි දක්වා තිබේ.
ඩෙන්මාර්කයට පසු පිළිවෙළින් අයිස්ලන්තය, නෝර්වේ, ෆින්ලන්තය, කැනඩාව, නෙදර්ලන්තය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ ස්වීඩනය යන රටවල් සතුටින් සිටින රටවල් ලෙස නම්කර තිබේ.
සෞඛ්‍ය පහසුකම් හා ධනය බෙදීයාමේ අසමතුලිතතාව සමාජයේ අසතුට වර්ධනය කිරීමට බෙහෙවින් බලපා ඇති බව එම වාර්තාව සඳහන් කරයි.
සතුට අනුව ඇමෙරිකාව 13, චීනය 83, ඉන්දියාව 118 සහ ජපානය 53 යන ස්ථාන හිමි කරගෙන තිබේ.
ලෝක සතුටු වීමේ දිනය ඊයේ (20දා) දිනයට යෙදී තිබිණි. 'ප්‍රීතිමත් ලෝකයක් වෙනුවෙන් කාලගුණය යහපත් කර ගනිමු' යන්න මෙවර ලෝක සතුටු වීමේ දිනයේ තේමාව විය.
ලෝක ජනතාවගේ ඉලක්ක හා අභිලාෂයන් ඉටු කරගැනීමේදී සතුට අත්‍යවශ්‍ය යැයි පිළිගනිමින් 2012 වසරේ ජූලි මස 12 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දිනය ප්‍රකාශයට පත් කළේය.