ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට්වලින් විශාල ප්‍රගතියක් හා වර්ධනයක් අත් කරගෙන ඇති බවත්, ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීයව සංවර්ධනය කිරීමේදී ආසියානු කලාපයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් ලෙස ඇෆ්ගනිස්තානය, මැලේසියාව, නේපාලය වැනි රටවල ක්‍රීඩාව ඉහළ තත්ත්වයකට රැගෙන ඒමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ආසියානු ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇති බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේව් රිචඩ්සන් මහතා පැවසීය.
ඔහු මේ බව අනාවරණය කළේ ඊයේ (15දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය. එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සතුව සුවිශාල සම්පත් රාශියක් ඇති බවත්, ඒවා කළමනාකරණය කරමින් ගෝලීයව ක්‍රිකට් ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.
එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අයි.සී.සී ප්‍රධාන විධායක නිලධාරීවරයා,
“අයි.සී.සී. තරගකාරී කණ්ඩායම් ඉහළ තත්ත්වයකට රැගෙන ඒමට හා සංවර්ධනය කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. විශේෂයෙන් ආසියානු කලාපයේ ඇෆ්ගනිස්තානය, මැලේසියාව, නේපාලය වගේ රටවල් තුළ ක්‍රීඩාව දියුණු කිරීමට හා එහි ප්‍රගතිය පිළිබඳ අපේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වගේම අපේ වගකීමක් ක්‍රිකට් ගෝලීයව ව්‍යාප්ත කිරීම. ඒ සඳහා අපට අසීමිත සම්පත් තිබෙනවා.
ඒ වගේම ක්‍රීඩක දක්ෂතා ඉහළ නැංවීම කෙරෙහිත් අපි අවධානය යොමු කර, ඒ සඳහා ඉහළම ස්ථානයේ සිටින රටවල ක්‍රීඩක දක්ෂතා කළමනාකරුවන් අනුයුක්ත කරගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඉනුත් ඉහළම කණ්ඩායම් තුනක් හෝ 04 ක් සිටින්නේ ආසියාවේ.
ඒ නිසා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සම්පත් උපයෝගි කරගෙන ආසියානු කලාපය තුළ ක්‍රීඩක දක්ෂතා වර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට්වලින් විශාල ප්‍රගතියක් හා වර්ධනයක් අත් කරගෙන තිබෙනවා* යැයි පවසා සිටියේය.
මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසා සිටියේ, වගකීමකින් යුක්තව සංවර්ධන කටයුතු සිදුකරන බවත්, ගෝලීය උපායමාර්ග භාවිත කරමින් ක්‍රීඩාවෙන් ඉදිරියට ගමන් කරන බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ සුමතිපාල මහතා,“ආසියානු ක්‍රිකට් සම්මේලනයත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ්සන් මහතා සාකච්ඡාවක් පැවැත්වුවා. අනතුරුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් සමගත් විශේෂ රැස්වීමක් පැවැත්වුවා. ආසියානු ක්‍රිකට් කවුන්සිලය පසුගිය වසරේ ගත් තීන්දු අනුව සියලුම සංවර්ධන කටයුතු හා තරගාවලි ලෝකය කොටස් 05කට වෙන් කරලා ආසියාවත් ඇතුළුව සංවර්ධනය කරන්න පියවර ගෙන තිබෙනවා. වර්තමානයේ අපි ආසියානු ක්‍රිකට් කවුන්සිලය ලංකාවට ගෙනත් තිබෙන පසුබිමක අයි.සී.සී.යත් සමග ඒකාබද්ධව සංවර්ධන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
එසේම අපි හැම අවුරුද්දේම අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු කරනවා. එම තරගාවලිය ඇතුළුව අවුරුදු 16 න් පහළ, 23 න් පහළ තරගාවලි පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කරන්න තමයි අයි.සී.සී. ප්‍රධාන විධායක නිලධාරීතුමා ලංකාවට පැමිණියේ. එහිදී කෙටි කලක් තුළ ශ්‍රී ලංකාව ලබාගත් ප්‍රගතිය පිළිබඳ වාර්තාව අපි එතුමාට ඉදිරිපත් කළා " යැයි ප්‍රකාශ කළේය. මෙම මාධ්‍ය හමුවට ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා හා ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුද එක්ව සිටියහ.