ශ්‍රී ලංකා මහ බැංකුව සිය විදේශ සංචිත කළමනාකරණ ක්‍රියාකරකම් තවදුරටත් විවිධාංගීකරණය කිරීමේ පියවරක් ලෙස ඊයේ (25දා) චීන මහ බැංකුව සමග චීන රෙන්මින්බි සුරැකුම්පත්වල ආයෝජනය කිරීම සඳහා වන ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹුණි.
මෙමගින් ශ්‍රී ලංකා මහ බැංකුවට ලෝකයේ විශාලතම වූත් ප්‍රවර්ධනාත්මක වූත් සුරැකුම්පත් වෙළෙඳ පොළක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලැබෙන අතර ශ්‍රී ලංකාව හා චීනය අතරත් දෙරටේ මහ බැංකු අතරත් සහයෝගීතාව තවදුරටත් වර්ධනය වීමක් සිදු වේ.
මෙම ගිවිසුමට එළැඹීම සම්බන්ධයෙන් බීජිංහි චීන මහ බැංකු පරිශ්‍රයේ දී පැවැති විශේෂ උත්සවයකදී ශ්‍රී ලංකා මහ බැංකු අධිපත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා චීන මහ බැංකු අධිපති සොව් සිආවෝචුවාන් මහතා සමග නිල වශයෙන් ගිවිසුම් හුවමාරු කරගැනීම සිදු කරන ලදී.
මෙම උත්සවයට චීන මහජන සමුහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති රන්ජිත් උයන්ගොඩ, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එච්.ඒ. කරුණාරත්න, රාජ්‍ය ණය අධිකාරි එන්.ඩබ්.ජී.ආර්.ඩී. නානායක්කාර මහත්වරුන් සහ චීන මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගි වි සිටියහ.