ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලංකා සරණාගතයන්ට උපන් දරුවන් 16,000ක් සඳහා ඉන්දියාවේ හෝ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලැබී නැතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් හුදෙක්ම සරණාගතභාවය පමණක් උසුලන බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා සරණාගතයන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින විට ක්‍රියාකාරීන් විසින් මෙම ගැටලුව පෙන්වාදී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය දශක දෙකක කාලය තුළ ඉන්දියාවේ තිබෙන සරණාගත කඳවුරුවල අය විසින් දරුවන් 24,000ක් බිහිකර තිබුණත් එයින් 8000කට ආසන්න ප්‍රමාණයක් පමණක් ලියාපදිංචි වී තිබෙන බවත්, ඊළාම් සරණාගතයන් පුනරුත්තාපනය කිරීමේ සංවිධානයේ නිර්මාතෘ එස්.සී. චන්ද්‍රශාන් මහතා සඳහන් කළේය.
සරණාගත කඳවුරුවල උපතක් සිදුව වසරක් ඇතුළත ඉන්දියාවේ පිහිටා ඇති ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදංචි විය යුතු වුවත් එවැනි ක්‍රියාමාර්ගයක් දෙමාපියන් විසින් සිදුකර නැතැයිද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවයට අදහස් දක්වන චන්ද්‍රශාන් මහතා පවසා සිටියේය.
පුරවැසිභාවය නොමැතිව සිටින 16,000ක පිරිසකගෙන් බොහොමයක් මේ වනවිට තාරුණ්‍යයට පැමිණ තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා, ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියත් එය නීත්‍යනුකූල නොවන බවයි.
මෙම පුද්ගලයන් ලියාපදිංචි කිරීම සඳහා 2012 වසරේ මැයි මාසයේදී වැඩසටහනක් සකස් කළත් එය කිසියම් පිරිසක් විසින් එය නවත්වා තිබෙන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය සඳහන් කරයි.
වැඩිදුරටත් අදහස් දක්වන චන්ද්‍රශාන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා රජයේ මැදිහත්වීමෙන් මෙම සරණාගතයන් නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒමට පෙර ඔවුන්ව ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළයුතු බවයි.