ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව ඇතර ඉදිරියේදීත් සිදුවන ඉහළ පෙළේ හමුවීම් තුළින් දෙරට අතර සබඳතා වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වෙන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.
ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය හා ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ටොම් මැලිනොව්ස්කි මහතා සමග ආරම්භ වූ සාකච්ඡා වලින් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව අද (25දා) පැවැසීය.
"අප රට වඩාත් නිදහස් හා සාධාරණ මැතිවරණයකින් පසු දේශපාලන වශයෙන් ස්ථාවර වී ඇත. එනිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සදහන් වූ නිශ්චිත පොරොන්දුවකට අනුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මතුවූ ගැටළු නිරාකරණය කිරීම සදහා ගනු ලැබූ ස්වාධීන දේශීය යාන්ත්‍රණය පිළිබදවත් ඔවුන්ව දැනුවත් කළා.
දෙරටේ සමීප ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීමට ප්රමුඛත්වයක් ලබා දීමට තීරණය කළෙමු. ශ්‍රී ලංකාවේ විශාලම තනි අපනයන වෙළදපොල වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. අපගේ මුළු අපනයන ප්‍රමාණයෙන් 23% ඇතුල් වන්නේ ඇමරිකානු වෙළදපොලට වේ. එනිසා අපගේ වෙළද හා ව්‍යාපාරික සබදතා වැඩි දියුණු කිරීමටත් ඇමරිකානු ආයෝජකයින් හට ශ්‍රී ලංකාවේ ඇති නව ආර්ථික අවස්ථා වලින් වාසි ලබා ගැනීමටත් අවකාශ සැලසිය යුතුයි"
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු