වසර 10කට පෙර අත්සන් කළ ගිවිසුම් කාලය මාර්තු 07දා අවසන්
ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර රහසේ අත්සන් තබා ඇති ආරක්ෂක ගිවිසුමක් නැවත අත්සන් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව සූදානම් වන බව වාර්තාවේ.
පසුගිය ආණ්ඩු සමයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙරට හිටපු ඇමෙරිකානු තානාපති රොබටෝ බ්ලේක් මහතා අතර මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ 2007 මාර්තු මස 07 වැනිදා වන අතර, මේ සම්බන්ධයෙන් එවකට කැබිනට් මණ්ඩලය පවා දැනුවත් කර නැතැයි සඳහන් වෙයි.
වසර දහයක කාලයක් සඳහා රහසේ අත්සන් කරන ලද මෙම ගිවිසුම මේ මස 07 දා අවසන්වීමට නියමිතය. එසේ ගිවිසුම අවසන් කරනු වෙනුවට වත්මන් රජයද එම ගිවිසුමට අත්සන් කිරීමට සූදානම් වන බව වාර්තාවේ.
මෙම ගිවිසුමට අනුව ඇමෙරිකානු රාජ්‍යය ආසියානු කලාපයේ රටක් සමග යුද්ධකට පැමිණියහොත්, ශ්‍රී ලංකාව නවාතැන් පහසුකම්, යානා ගොඩබැස්සවීමේ පහසුකම් මෙන්ම ඉන්ධන පහසුකම් ලබාදීමට බැඳී සිටින බවද වැඩිදුරටත් වාර්තාවේ.
මෙම ගිවිසුම පිළිබඳ රටට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන මෙන් තමා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව මේ සම්බන්ධයෙන් 'අද' ට අදහස් දක්වමින් ජනතා විමක්තිපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“ඇමෙරිකාව මේ කලාපයේ යුද්ධයක් කරනකොට අපේ වරායන්, ගුවන්තොටුපොළභූමිය ආදිය ලබාදියයුතු වෙනවා. ඇමෙරිකාව, පාකිස්තානයේ, ඇෆ්ගනිස්තානයේ ඉන්න අයි.එස්.අයි.එස්., තලේබාන් සංවිධානවලට ප්‍රහාර එල්ලකරන්න, යුද්ධ කරන්න පටන්ගත්තොත් ලංකාවේ භූමිය භාවිත කරනවා.
එහෙම වුණොත් අනිවාර්යයෙන්ම ඒ ත්රස්ත්රවාදී සංවිධාන ලංකාව ඔවුන්ගේ ඉලක්කයක් බවට පත්කර ගන්නවා. ඇමෙරිකාව හැමතැනම කරලා තියෙන්නේ ඒක. ඇමෙරිකානු පුරවැසියන් දෙදෙනෙක් අත්සන්කරපු මේ ගිවිසුමේ අවුරුදු 10 දැන් අවසානයි. මේදවස්වල ඒ ගිවිසුම හොර රහසේ යළිත් අත්සන් කරන්න ආණ්ඩුව වැඩ කරගෙන යනවා.
මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ බරපතළ විරෝධය පළකරනවා. අනුන්ගේ යුද්ධවලදි අපේ රට අනවශ්‍ය කොටස්කරුවෝ වෙන්න අවශ්‍ය නැහැ. එහෙම වුණොත් ගැලවෙන්න බැරි බව පැහැදිලියිනේ.
ජනාධිපතිවරයා රටට කියලා තියෙනවා ගිවිසුම් අත්සන් කරද්දි රටට, පාර්ලිමේන්තුවට කියනවා කියලා. අපි කියන්නේ ගිවිසුම හදලා පාර්ලිමේන්තුවට දාන්න එපා, සකස්කරද්දිම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලයි.
මේ සම්බන්ධයෙන් වැඩබලන ආරක්ෂක ලේකම් කිංස්ලි ප්රනාන්දුමහතාගෙන් 'අද' කළ විමසීමේදී ඔහු පැවසුවේ එවැන්නක් පිළිබඳ තමා මෙතෙක් දැනුවත්වී නොමැති බවයි.