ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදු වූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතුවලට අදාළ තොරතුරු හා සාක්ෂි සටහන් කර ගැනීම ඉදිරි සති දෙක තුළදී ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අනුබද්ධ වෘත්තීය සමිති සන්ධානය සමග අද (25දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.
ශ්‍රී ලංකන් ගුවන් සේවාව පිළිබඳ අන්තර්ජාතිකව පවතින පිළිගැනීම ආරක්ෂා කර ගනිමින්, ගුණාත්මක ගුවන් සේවාවක් ලෙස එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අනුබද්ධ වෘත්තීය සමිති 06න් 05ක් නියෝජනය කරමින් නියෝජිතයන් මෙම හමුවට එක්ව සිටි අතර, සමාගමේ දැනට පවතින තත්ත්වය සහ මතුව ඇති ගැටලු විසඳා ගනිමින් සමාගමේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ ඔවුහු දීර්ඝ වශයෙන් අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවාවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය වර්ධනය කරමින් මගීන්ට අභිරුචියකින් සහ ප්රබෝධයකින් යුතුව සිය ගමනාන්තය කරා ළඟාවීමට හැකි පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු සියලු පාර්ශ්වවල තොරතුරු ලබාගනිමින් සහ සියලු දෙනාගේ යෝජනා සැලකිල්ලට ගනිමින් රජයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට එම ශ්‍රී ලංකන් කොමිසම කඩිනමින් කටයුතු කරනු ඇති බව ජනපතිවරයා පැවසීය.