ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර බලය ලබාගැනීම යන කාරණය පදනම් කරගෙන එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවට අයත් කණ්ඩායම් 2 ක් ඊයේ (11දා) කොළඹදී ස්ථාන දෙකකදී රැස්ව තම නායකයන් පිළිබඳව මත දෙකක් ඉදිරිපත් කළහ.
මෙහි එක් කණ්ඩායමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අතර, අනෙක් කණ්ඩායම රැස්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිවසේදීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට රැස්වූ කණ්ඩායම තමන්ට මධ්‍යම කාරක සභාවේ බහුතර බලය තිබෙන බව සඳහන් කළේය. එසේම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසට රැස්වූ කණ්ඩායමද සඳහන් කළේ තමන්ට පක්ෂයේ මධ්‍යම කාරක සභාෙව් බහුතර බලය තිබෙන බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු රටේ ජනාධිපතිධුරයට පත්වූ විට ඔහු පක්ෂයේ සභාපති ධුරයට පත්වන බවට පක්ෂ ව්‍යවස්ථාවේ 12 (ii) අ වගන්තියේ සඳහන් වන බවත්, මේ නිසා මෛත්‍රීපාල සිරිසේන මහතා නව සභාපතිවරයා ලෙස පිළිගන්නා බවත් මෛත්‍රීපාල මහතාගේ නිවසේ රැස්වූ එම පාර්ශ්වය සඳහන් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට අයත් සාමාජිකයන් 55 දෙනාගෙන් බහුතරය එම කණ්ඩායමට අයත් බව එම ස්ථානයේ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔවුහු සඳහන් කළහ.
ඒ අනුව සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාද, මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතාද, ජාතික සංවිධායක ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාද, භාණ්ඩාගාරික ලෙස එස්.බී. නාවින්න මහතාද ප්‍රධාන අනුශාසකයන් ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද පත්කරගෙන තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන්, සරත් අමුණුගම, විජිත් විජිතමුණි සොයිසා, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, රෙජිනෝල්ඩ් කුරේ, ෆයිසර් මුස්තාපා, කේ.එස්.ඩී.ගුණවර්ධන, පියසේන ගමගේ, ජගත් පුෂ්පකුමාර, අතාවුද සෙනෙවිරත්න, එස්.බී.නාවින්න යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු රටේ ජනාධිපතිවරයා බවට පත්වූ විට ඔහුට පක්ෂයේ සභාපතිත්වය නිතැතින්ම හිමිවන බවත්, ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ සභාපතිවරයා ලෙස තෝරාගත් බවත් එම අවස්ථාවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය.
එසේම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩපිළිවෙළට සහාය ලබාදෙන බව පැවසූ හෙතෙම සියලුම ශ්‍රී ලංකා පාක්ෂිකයන්ට තමන් සමග එක්වන්නැයිද ඉල්ලා සිටියේය. මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට රැස්වූ කණ්ඩායමට මධ්‍යම කාරක සභිකයන් 55 දෙනා අතරින් 42 දෙනෙකුගේ සහාය ලැබුණු බව පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
පක්ෂයේ නායකයා සහ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මහලේකම්වරයා ඇතුළු අනෙකුත් තනතුරු පෙර තිබූ පරිදිම ක්‍රියාත්මක වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා අදහස් දක්වමින්
“මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට එක්වූ කෙනෙක් නෙමෙයි. සන්ධානය නියෝජනය කර ඉදිරිපත් වුණෙත් නැහැ. එතුමා සන්ධානයෙන් ඉදිරිපත් කරපු අපේක්ෂකයාට එරෙහිව ආපු අපේක්ෂකයෙක්. සභාපතිකමට පත්වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කර හෝ සන්ධානය නියෝජනය කර ඉදිරිපත් වුණොත් පමණයි කියලා ව්‍යවස්ථාවේ තියෙනවා. එතුමාගේ සාමාජිකත්වය තහනම් කර තිබෙනවා. ඒක තේරුම්ගන්න උසාවියකට යන්න ඕනේ නැහැ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය පිරිනැමූ බවට ගෙනයන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතිබහුතර බලය හිමිවන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බව කිව යුතුයි. අනික වෙනත් කණ්ඩායමකට එවැනි රැස්වීමක් තබන්න අයිතියක් ඇත්තේ නැහැ* යනුවෙන් පවසා සිටියේය.