(UPDATE) ශ්රී පාද රක්ෂිතයට ඊයේ (12දා) දහවල් ඇතුළුව අතුරුදන් වූ පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමෙන් දුරකථන ඇමතුමක් ලැබුනද ඔවුන් තවමත් සොයාගත නොහැකි වූ බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
එම අතුරුදන් වු අයගෙන් එක් අයෙකු මෙහෙයුමේ නිරත පොලිස් නිලධාරියෙකුට දුරකථනයෙන් අමතා පවසා ඇත්තේ තමන්ට ජලවිදුලි බලාගාරයෙකින් ජලය ගලා බසින විශාල නළ දෙකක් පෙනෙන බවත් එම ජලනළ පෙනෙන ප්රදේශයට තමන් ගමන් කරමින් සිටින බවයි. ඔවුන්ගේ දුරකථනවල සංඥා නොමැති නිසා ඔහු සමිබන්ධ කර ගැනීම දැඩි දුෂ්කර වී ඇති බවද නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් පවසයි.
නල්ලතන්නිය, ලක්ෂපාන තේ වතුයායේ “හැමිල්ටන්” ඉහළ ප්රදේශයෙන් ශ්රී පාද රක්ෂිතයට ඊයේ (12දා) දහවල් ඇතුළු වූ පස්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අතුරුදන්වී ඇතැයි නල්ලතන්නිය පොලීසිය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ ලක්ෂපාන තේ වතුයායේ කළමනාකාරවරයාගේ ඥාතීන් පිරිසක් හා ලක්ෂපාන තේ වත්තේ පදිංචි අයෙකු බව නල්ලතන්නිය පොලීසිය සඳහන් කරයි.
අතුරුදන්වූවන් අතර කාන්තාවන් දෙදෙනෙක්ද සිටින බවද පොලීසිය පවසා සිටියි.
ලක්ෂපාන යුද හමුදා කඳවුරේ සෙබළුන් හා නල්ලතන්නිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් මෙම පිරිස සොයා ඊයේ (12දා) රාත්රියේ සෝදිසි මෙහෙයුමක් දියත් කළ බවත්, අද (13දා) දහවල් වන තෙක් ඔවුන් පිළිබදව නිශ්චිත තොරතුරක් නොලැබුණු බවත් නල්ලතන්නිය පොලීසිය පවසයි.
හැටන් රංජිත් රාජපක්ෂ/ මස්කෙළිය ගාමිණී බණ්ඩාර