ඉහළ දැමූ මූලික වැටුපට සාපේක්ෂව අමතර රාජකාරි දීමනා ලබා නොදෙන බලධාරීන්, වෛද්‍යවරුන්ට ලබාදෙන සන්නිවේදන දීමනාවද කපා දමමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රාජ්‍ය සේවා දීමනා මූලික වැටුපට එකතු කිරීම යටතේ වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප ඉහළ ගිය බවද එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මේ අනුව වෛද්‍යවරුන් හැර අනෙකුත් සියලුම රාජ්‍ය සේවකයන්ගේ දීමනා මූලික වැටුප් වැඩිවීමට අනුව ඉහළ ගිය බවද ඔහු පවසා සිටියේය.
එහෙත් මෙතෙක් වෛද්‍යවරුන්ගේ දීමනා ඉහළ දැමීමට කටයුතු නොකළ බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මේ නිසා දුෂ්කරතාවන්ට පත්ව සිටින වෛද්‍යවරුන්ගේ සන්නිවේදන දීමනාවෙන් රුපියල් එක්දහස් පන්සියයක මුදලක් අඩු කිරීමට කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පවසා සිටියේය.
සන්නිවේදන දීමනාව ලෙස රුපියල් හාරදහසක මුදලක් හිමි බවත්, මේ අනුව එම මුදල රුපියල් දෙදහස් පන්සිය දක්වා අඩුවන බවත් හෙතෙම පවසා සිටියේය.