දකුණු පළාත් රෝහල් තුළ ආරම්භ කර තිබෙන වෛද්‍ය වැඩවර්ජනය හේතුවෙන් බාහිර රෝගී අංශයට හා සායනවලට පැමිණ රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබේ.
කිසිදු පූර්ව දැනුම්දීමක් සිදුනොකර උදේ 8.00 සිට මෙම වර්ජනය ආරම්භ කර තිබෙන අතර, මේ නිසා වෛද්‍ය වර්ජනය නොදැන රෝහල්වලට පැමිණි රෝගීහු මෙලෙස දුෂ්කරතාවන්ට පත්ව සිටිති.
මේ පිළිබව 'අද' රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පවසා සිටියේ, සයිටම් ආයතනයට විරෝධය දක්වා උදේ 8.00 සිට දහවල් 12.00 දක්වා දකුණු පළාතට අයත් හම්බන්තොට, මාතර හා ගාල්ල දිස්ත්‍රික්කවල පිහිටි රෝහල් තුළ වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවත්, එහෙත් හදිසි සේවා සිදුකරන බවත්ය.
සයිටම් හරහා ජනතාවට ජීවත්වීමේ අයිතිය අහිමි වන නිසා ජනතා ජීවිත සුරක්ෂිත කරගැනීමට මෙම ක්‍රියාමාර්ග සිදුකරන බවද නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.