වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් විසින් සිදුකරනු ලබන පන්ති වර්ජනය හේතුවෙන් වෛද්‍ය පීඨවලට ශිෂ්‍යයන් බඳවා ගැනීමට හා සීමාවාසික වෛද්‍යවරුන් බිහිකර ගැනීමට වසර 05ක් යනතෙක් බලපෑම් එල්ලවන බව වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම පන්ති වර්ජනය මේ වසර අවසන් වනතෙක් පැවැතියහොත් එහි බලපෑම වසර 10ක් දක්වා පවතින බවද එම සංගමයේ සාමාජික ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
වෛද්‍ය ශිෂ්‍යයන්ට පවත්වන විභාගවලදී පැමිණීම 80%ක ප්‍රතිශතයක් සොයා බලන බැවින් මේ වසර තුළදී කිසිදු ශිෂ්‍ය කණ්ඩායමකට විභායකට පෙනීසිටීමට හැකියාවක් නොමැති බවද හෙතෙම පවසා සිටියේය.
මේ හේතුවෙන් අදාළ වසරවලට නියමිත, මෙම වර්ෂයට අදාළ විෂය නිර්දේශවල මෙම අර්බුදය විසඳී වෛද්‍ය ශිෂ්‍යයන් වෛද්‍ය විද්‍යාලවලට පැමිණෙන දින සිට ආරම්භ කිරීමට සිදුවන බවද ඒ මහතා කියා සිටියේය.
වෛද්‍ය ශිෂ්‍යයන් ඉල්ලා සිටින ඉල්ලීම්වලට වහාම විසඳුම් ලබාදී කඩිනමින් මෙම ගැටලුව විසඳීමට කටයුතු කළ යුතු බවද වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
පවතින තත්ත්වයට අනුව ලබන වසර තුළදී රෝහල්වලට අවශ්‍ය සීමාවාසික වෛද්‍යවරුන් නොමැති වන බවද හෙතෙම පවසා සිටියේය.
සයිටම් ආයතනය වසා දමන ලෙස ඉල්ලා වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් මේ වසරේ ජනවාරි 31 වැනිදා සිට පන්ති වර්ජනයක නිරත වන බවද චන්න ජයසුමන මහතා පැවසීය.
මේ හේතුවෙන් වෛද්‍ය විද්‍යාලවලට තේරීපත්ව සිටින කිසිවෙකුටත් වෛද්‍ය පීඨවලට ඇතුළත් වීමට නොහැකි වී තිබෙන බවත්, එම තත්ත්වය පාසල්වල 8 ශ්‍රේණියේ සිට ඉහළට ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ටද බලපාන බවද ඔහු සඳහන් කළේය.