අත්අඩංගුවට ගෙන සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර නමැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සමග මුදල් ගනුදෙනු කළ බව අනාවරණය වී ඇති බැවින්, එහි සත්‍යතාව හෙළිකර ගැනීමට දුමින්ද සිල්වා මහතා සතු මූල්‍ය ගිණුම් පරීක්ෂා කිරීමට පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබාගෙන තිබේ.
මේ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර නමින් සහ ඔහු භාවිත කළ වෙනත් නම් දෙකකින් සහ වෙලේ සුදාගේ බිරිඳ වන ගයනි සුදර්ශි සතුව මෙරට වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන 82ක් තුළ ගිණුම් පවත්වාගෙන යනවාද? සහ එලෙස ගිණුම් පවත්වාගෙන යන්නේ නම් ඒ තුළ තැන්පත් කර තිබෙන මුදල් පිළිබඳව සොයා බලන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
සමන්ත කුමාර නමැත්තා විසින් හෙළිකර තිබෙන කරුණුවලට අනුව ඔහු විසින් උපයාගෙන තිබෙන මුදල්වලින් කොටසක් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ලබාදී තිබෙන බවට සඳහන් කරන බවත්, මේ අනුව ගිණුම පරීක්ෂාවේදී ඒ පිළිබඳව හෙළිවුවහොත් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගන්නා බවත් ඔහු කියා සිටියේය.
මීට අමතරව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අතුරුගිරිය ප්‍රදේශයේදී මියගිය ලාලිත කෞශල්‍ය නොහොත් කුඩු ලාලිතගෙන්ද මුදල් ලබාගෙන තිබෙන බවට අනාවරණය වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
මේ අනුව අධිකරණයෙන් ලබාගත් අවසරය මත මෙරට දේශීය බැංකු සහ වාණිජ මූල්‍ය ආයතන 82 ක ගිණුම් පරීක්ෂා කිරීමට කටයුතු කර අදාළ පුද්ගලයන් සතුව ගිණුම්වල තැන්පත් වී ඇති මුදල් පිළිබඳව සොයාබලන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මීට අමතරව අදාළ තැනැත්තන් නමින් විදේශීය බැංකුවල මූදල් තැන්පත් කර තිබේද යන්න ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකය විසින් පරීක්ෂණ පවත්වන බවද ඔහු පවසා සිටියේය.
වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර නමැත්තා වෙනත් නම් දෙකකින් පෙනී සිට තිබෙන බවත්, මේ අනුව මානගොඩ කංකානමලාගේ සමන්ත ප්‍රදීප් සහ විජේසිංහ ආරච්චිලාගේ සුනිමල් සංජීව යන නම්වලින් ගිණුම් පවත්වාගෙන යනවාද සහ ඔහුගේ බිරිඳ වන ගයනි සුදර්ශි නමින් ගිණුම පවත්වාගෙන යනවාද යන්නත් සොයාබලන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව පරීක්ෂණ පවත්වා, ඉදිරියේදී නම් ගම් ප්‍රසිද්ධ කරන බවත් සියලුම තොරතුරු තහවුරු වූ පසු සියලුම දෙනා අත්අඩංගුවට ගන්නා බවද ඔහු පවසා සිටියේය.
ගිණුම් පරීක්ෂණයේදී වෙලේ සුදා අනාවරණය කරනු තොරතුරුවලට අනුව දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා මුදල් ලබාගෙන තිබෙන බවට තහවුරු වුවහොත් ඔහුව අත්අඩංගුවට ගන්නා බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
දුමින්ද සිල්වා මහතා විදේශගත වීම වැළැක්වීම සඳහා මහාධිකරණය විසින් 2013 අප්‍රේල් 24 වැනිදා ඔහු සතු විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට ලබාගෙන තිබෙන බවත්, එම නියෝගයට අනුව කටයුතු කරන ලෙසට පොලීසිය ආගමන විගමන පාලකවරයාට දන්වා යවා තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
2013 වසරේදී දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සතු විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට ලබාගෙන තිබෙන්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන අධිකරණ ක්‍රියාමාර්ගය වෙනුවෙන් බවද ඔහු පවසා සිටියේය.