අත්අඩංගුවට ගෙන සිටින වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර නමැත්තාගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලට අනුව මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා පොලිස් නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 36 දෙනෙකු පිළිබඳව තොරතුරු හෙළිවී තිබේ. එම පුද්ගලයන් ඉදිරි දින 7 තුළ අත් අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු යොදා තිබෙන බවද වාර්තා වෙයි.
වෙලේ සුදා සම්බන්ධයෙන් මෙතෙක් පරීක්ෂණ කටයුතු කළ අපරාධ අංශ නිලධාරීන් අධීක්ෂණය කිරීමට සහ පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීමට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට පැවරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කලක් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයා ලෙසට කටයුතු කර තිබෙන අතර, මේ නිසා පරීක්ෂණ කටයුතු ඔහු වෙත පවරා දින 07 ක් තුළ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමටත් සැලසුම් කර ඇත.
'අද' මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතාගෙන් සිදුකළ විමසීමකදී සඳහන් කළේ, වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව හෙළිවී ඇති පුද්ගලයන් පිළිබඳව නිවැරදි අධීක්ෂණය කිරීම කටයුතු ඉදිරි දින තුන හතරක කාලය තුළ සිදුකරන බවයි.
මේ අනුව කරුණ තහවුරු වන සියලුම දෙනාම ඉදිරි දින 07 ක් තුළදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
මේ අතර අත් අඩංගුවේ සිටින වෙලේ සුදා ලබන 05 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (02දා) රහස් පොලීසියට නියම කළේය.
මාස 06 ක කුඩු ජාවාරමෙන් රුපියල් කෝටි 17 කට අධික මුදල් හා දේපළ හිමිකර ගත් බවට වෙලේ සුදාට ඔහුගේ බිරිඳට හා ඥාති සහෝදරියකට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකාද තෙන්නකෝන් ලිවේරා මහත්මිය එලෙස නියම කළාය.
2010 ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා කරන ලද හෙරොයින් ජාවාරමෙන් අදාළ මුදල් හා දේපළ හිමිකරගෙන සිටින බවට මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ගම්පල විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා, ඔහුගේ බිරිඳ වන ගයනි ප්‍රියදර්ශණී සහ ඥාති සහෝදරියක වන කේ.ඒ. වසන්ති ප්‍රියදර්ශණී යන තිදෙනාය.
පාකිස්තානයේ සිට හෙරොයින් ජාවාරම් සිදුකළ වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර නමැත්තා එරටදී අත්අඩංගුවට ගෙන ජනවාරි 12 වැනිදා මෙරටට රැගෙන එනු ලැබිණි.
ඉන් පසුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් මාස 03 ක රැඳවුම් නියෝග මත ඔහුව රඳවා ගනිමින් ප්‍රශ්න කරමින් සිටියි.
මෙලෙස සිදුකරන ප්‍රශ්න කිරීම්වලට අනුව වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර නමැත්තා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සමග මුදල් ගනුදෙනු කර තිබෙන බවට හෙළිවී තිබේ.
මීට අමතරව පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු සහ පොලිස් සැරයන්වරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සමග සම්බන්ධතා පවත්වා තිබෙන බවටත් හෙළිවී ඇත.
තුන්වැනි පාර්ශ්වයක් හරහා වෙලේ සුදාට අයත් නිවසක් හුවමාරු කරගත් බවට හිටපු පොලිස්පතිවරයෙකුටත් චෝදනා එල්ල වී තිබෙන අතර, එම පොලිස්පතිවරයා මේ වනවිට විදේශ ගතවී සිටියි. අදාළ නිවසට මේ වනවිටත් පොලිස් ආරක්ෂාව ලබාදී තිබේ.
මීට අමතරව වෙලේ සුදා විසින් විදේශ රටවල සිට මෙරටට එවා තිබෙන හෙරොයින් කිලෝ දහසකට අධික ප්‍රමාණය රට තුළ බෙදාහැර තිබෙන්නේ මරදාන සහ කොට්ටාව ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු විසින් බවට හෙළිවී තිබේ.
මෙම පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු මේ වනවිට මැලේසියාවට පලා ගොස් ඇති බවද වාර්තා වේ.
මීට අමතරව ප්‍රදේශීය දේශපාලඥයන් කිහිප දෙනෙකු සහ රාජ්‍ය ආයතන කිහිපයකම නිලධාරීන් වෙලේ සුදා සමග සම්බන්ධකම් පවත්වා තිබෙන බවට හෙළිවී තිබේ.
ඉන්දික හේවාවිතාරණ /බුද්ධිමාල් රුබේරු