වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ඊයේ (11දා) පැවැති මංගල රැස්විමේදී කමිටු සඳහා සාමාජිකයන් පත්කිරීමෙන් පසු සභාවේ සිටි සමහර මන්ත්‍රීවරුන්ගේ පළමු ගැටලුව වුයේ මන්ත්‍රීවරුන්ට සන්නිවේදන දීමනාව ලබාගන්නා ආකාරය හා සභාව රැස්වන අවස්ථාවේදී දිවා ආහාරය ලබාදෙන්නේද යන්නයි.
මෙතෙක් පැවැති ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ට රුපියල් 3000 ක සන්නිවේදන දීමනාවක් ලබාදී ඇතැයිද එමෙන්ම සභාවේ රැස්වීම සඳහා සහභාගිවන මන්ත්‍රීවරුන්ට දිවා ආහාරය ලබාදී ඇතැයිද පැවසූ හිටපු මන්ත්‍රීවරු එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන ලෙසද ඉල්ලා සිටියහ.
එහෙත් මෙහිදී සභාපති විපක්ෂ නායක ඇතුළු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක් පවසා සිටියේ,දිවා ආහාරය සඳහා එක් අයෙකුට රුපියල් 600 ක් වැනි මුදලක් වැයවන බවත්, පසුගිය ප්‍රාදේශීය සභාවේ සිටියේ මන්ත්‍රීවරුන් 25 ක් වුවද මෙවර එය 44 ක් දක්වා වර්ධනය වීම නිසා දිවා ආහාරයට මෙන්ම සන්නිවේදන දීමනාවටද විශාල වියදමක් දැරීමට සිදුවන බැවින් එය නැවත සලකා බලා තීරණයක් ගත යුතු බවයි.
මෙම කරුණ සාකච්ඡා කිරීමේදී සභාවේ බහුතරයක් පවසා සිටියේ, කෙටි ආහාර වේලකට යාම සුදුසු බවයි. ඒ හේතුවෙන් එම වියදම් සලකා බලා ලබන සභාවාරයේදි ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට එම යෝජනාව කල් තැබීණි.