ඉදිරි මැතිවරණවලදී ප්‍රධාන පක්ෂ දෙක වෙන් වෙන්ව තරග කළත් ආණ්ඩුව ගෙන යන්නේ එකට එක්වී බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මීරිගම සතිපොළ සහ මහජන ක්‍රීඩාංගණය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට එක්වෙමින් පැවසීය.
ඒ අනුව කොළඹින් පිටත ප්‍රධාන වාණිජ කාර්මික මධ්‍යස්ථානයක් හැටියට ඊළඟ දශකයේදී මීරිගම ගොඩනැගීමට කටයුතු කරන බවත් කටුනායක හරහා කොළඹ දක්වා දිවයන ඒ අධිවේගී මාර්ගය මීරිගමට ඉදිරි වසර දෙක ඇතුළත ළඟා වීමට නියමිත බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේය.
මෙයට සමගාමීව මීරිගම ආයෝජන කලාපය විධිමත් කාර්මික කලාපයක් බවට තවත් අක්කර දහසක් පමණ තම අමාත්‍යාංශයෙන් අත්පත් කරගෙන සංවර්ධනය කිරීමට නියමිත බවත් මෙම ප්‍රදේශවල පවතින ජල ගැටලුවට කෙටි කාලීන හා දිගු කාලීන පිළියම් සැපයීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
මීට වසර කිහිපයකට පෙර පැවති දූෂිත පාලනයට නැවත මේ රට ගෙන නොයා යුතු බවත් මේ හේතුවෙන් ඉදිරියේදී ප්‍රධාන පක්ෂ දෙක එකට එකතුව පක්ෂ පාට භේදයකින් තොරව රට සංවර්ධනය කරා ගෙන යන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.