වීසා නොමැතිව මෙරට රැඳී සිටින පාකිස්තානු ජාතිකයන් මෙරටින් පිටුවහල් කිරීම වළකාලමින් පනවා තිබූ වාරණ නියෝගය අභියාචනාධිකරණය විසින් ඊයේ (01දා) අවලංගු කළ අතර, ඒ අනුව ඔවුන් රටින් පිටුවහල් කිරීමට රජයට හැකි වනු ඇත.
ශ්‍රී ලංකාවට පැමිණ විවිධ හේතු මත වීසා බලපත්‍ර පවා නොමැතිව ලංකාවේ රැඳී සිටින පාකිස්තානු ජාතිකයන් රටින් පිටුවහල් කිරීමට අදාළ අංශ ගෙන ඇති තීරණ වළකාළන්නැයි ඉල්ලමින් පුද්ගලයන් සිවු දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ සඳහා පනවා තිබූ වාරණය අභියාචනාධිකරණය මෙලෙස අවලංගු කළේය.
සරණාගතයන් ලෙස ලංකාවේ රැඳී සිටින මොවුන් යළි පාකිස්තානයට පිටුවහල් කරනු ලැබුවහොත් ඔවුන්ගේ ජීවිතවලට තර්ජන එල්ල විය හැකි බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් දැනුම් දුන්නද, නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ වීසා නොමැතිව රැඳී සිටින මෙම පුද්ගලයන්ගෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් විය හැකි බවයි.
වීසා නොමැති මෙම පිරිස විවිධ නීතිවිරෝධී ක්‍රියාවලටද සම්බන්ධ වී ඇති බවට තොරතුරු ඇතැයි කී නීතිපතිවරයා, වීසා නොමැති විදේශිකයන් පිටුවහල් කිරීමට රජයට අයිතියක් ඇති බවද පෙන්වා දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ වාරණ නියෝගය අවලංගු කළේය.