ඉදිරි කන්නයේ සිට වී ගොවීන්ගෙන් කිසිදු මුදලක් අය නොකර අක්කරයකට රුපියල් 40,000ක රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කරන බවත්, ආණ්ඩුව එක් කන්නයක් සඳහා සමස්ත ගොවීන් රක්ෂණය කිරීමට රුපියල් බිලියන දෙකකට වැඩි මුදලක් දරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, 'රන් දෑතට රැකවරණය' නමින් අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පසුගිය මහකන්නයේ වගා හානි වූ ගොවි ජනතාව වෙත වගා හානි සඳහා වන්දි බෙදාදීමේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
"ඉතිහාසයේ ඉඳන් අක්කරයකට රුපියල් 10,000ක් පමණයි වගා හානි වන්දි ලැබුණේ. හැමදාමත් ගොවියාව ශක්තිමත් කරවන්න ගොවියාව රජකරවනවා කියලා මැතිවණ කාලයට නොයෙකුත් පොරොන්දු දෙනවා. අපි කලින් හිටිය ආණ්ඩු කාලයේ 2012 - 2013 වර්ෂයේ විශාල නියඟයක් පැවතුණා. ඒ වෙලාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයයි, අපියි අරක දෙන්නම්, මේක දෙන්නම් කිව්වා. හැබැයි කිසිම දෙයක් අපට දීගන්න පුළුවන්කම ලැබුණේ නෑ.
අක්කරයක වගා හානියක් සඳහා රුපියල් 40,000ක වන්දි මුදලක් ලබා දීමට පසුගිය අයවැයේදී අපි තීන්දුවක් ගත්තා. ගොවීන් අපෙන් ඒ සඳහා ඉල්ලීමක් කළේ නෑ. හැබැයි වගාවට යම්කිසි හානියක් සිදු වුණොත් රුපියල් 10,000ක් ලැබුණොත් ඒක දැනෙන්නෙවත් නෑ. වී වගා කරලා, අස්වැන්න ලබාගෙන ඒ අස්වැන්න විකුණලා ලැබෙන ලාභය අක්කරයකට දළ වශයෙන් රුපියල් 40,000ක් පමණ වෙනවා. ඒ නිසා තමයි රුපියල් 10,000ට තිබුණ රක්ෂණය රුපියල් 40,000ක් දක්වා වැඩි කරලා දුන්නේ.
ඉදිරි කන්නයේ සිට රුපියලක්වත් අය නොකර වී වගා කරන සියලුම ගොවි මහත්වරුන් අක්කරයකට රුපියල් 40,000ක රක්ෂණ ආවරණයක් ලබාදී තිබෙනවා. ආණ්ඩුව එක කන්නයක් සඳහා සමස්ත ගොවි මහතුන් රක්ෂණය කිරීම සඳහා රුපියල් බිලියන 02කට වැඩි මුදලක් දරනවා."