විසඳුම් ලබාදීම සඳහා 650,000ක පමණ නඩු ප්‍රමාණයක් ඉතිරිවී ඇති බවත්, අධිකරණය විසින් කරුණු සලකා බලා ඉදිරියේදී නඩු තීන්දු ලබාදෙනු ඇති බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය, නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.
ඇය මේ බව පවසා සිටියේ, ඊයේ (18දා) බලන්ගොඩ ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අතරතුර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,
&මම අධිකරණ ඇමති මිසක් නඩුකාරයා නෙමෙයිනේ. අධිකරණය ස්වාධීනයි. අධිකරණය සියලුම කරුණු සලකා බලා අපරාධකරුවන්ට, මිනීමරුවන්ට සිල්රෙදි සිදුවීමේදී දුන්නා වගේ තීන්දු තීරණ ඉදිරියේදී ලබාදෙයි. කවුරු කරුණු ඔප්පු කරනවාද කියන්න බැහැ. කටයුතු පහසුකිරීම සඳහා අධිකරණයට අවශ්‍ය පහසුකම් ලබාදෙනවා මිසක් මම තීන්දු ලියන්නේ නැහැ. කඩිනම් කරන්න අපි වැඩ ගොඩක් කරලා තියෙනවා. 650,000ක නඩු ප්‍රමාණයක් දැනට ඉතිරි වෙලා තියෙනවා. බලන්ගොඩ උසාවිය ගත්තොත් ඒකාබද්ධ උසාවියක්. මහේස්ත්‍රාත් උසාවිය දින කිහිපයක් රැස්වෙනවා සතියකට. දිසා අධිකරණය දින කිහිපයක් රැස්වෙනවා. පොලිස් බලප්‍රදේශ 07ක් තියෙනවා. හෙට, අනිද්දා තවත් උසාවියක් ඇතිකරලා තවත් නඩුකාරවරයෙක් මේ ප්‍රදේශයට ගෙන්වනවා. එතැන තියෙන ප්‍රමාදය අපි අවම කරගෙන යනවා. මේ අවුරුද්දේ රත්නපුරේ අලුත් උසාවි සංකීර්ණය හැදෙනවා. ඊට අමතරව උසාවි ඇතිවිය යුතුයි කියලා හිතෙන ප්‍රදේශවල උසාවි ඇතිකරනවා. මහාධිකරණයක් නොතිබුණු මාතලේ ප්‍රදේශයේ අපි මහාධිකරණයක් ඇතිකළා. පරණ ක්‍රමය නැතුව මේ අවුරුද්දේ නඩු කටයුතු ස්වයංක්‍රීයව කරන්න අපට ආධාර ලැබිලා තියෙනවා* යැයි පවසා සිටියාය.