මෙරටට ගෙන්වන විලවුන් වර්ග නියාමනය කිරීමට රට තුළ කිසිදු ක්‍රම‘වේදයක් සකස් කර නොමැති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සහ පරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
1980 අංක 27 දරණ ඖෂධ හා සුවඳ විලවුන් නියාමන අධිකාරී පනත මගින් පසුගිය වසරේ මාර්තු 05 වැනි දින දක්වා මෙරටට ගෙන්වන ඖෂධ හා සුවඳ විලවුන් උපකරණ නියාමනය කළ බවත් එහෙත් එය නැවතී මේ මාර්තු මාසය වන විට වසරක පමණ කාලයක් සපිරෙන බවත් එම සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති.
එහෙත් 2015 ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත ඇති කිරීමත් සමග සුවඳ විලවුන් නියාමනය කිරීම අධිකාරී පනත ඉවත් කළ බවත්, එසේ ඉවත් කරන විට සුවඳ විලවුන් නියාමනය කිරීමට කිසිදු වැඩපිළිවෙළක් සකස් නොකළ බවද රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ පිළිබඳව අවස්ථා ගණනාවකදී බලධාරීන්ට පෙන්වාදෙනු ලැබූවත් මෙතෙක් අදාළ කටයුත්ත නියාමනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත්, මේ නිසා රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිත කරන එන්නත් වර්ග, පෙති සහ කරල් වර්ග, ආලේපන වර්ගවල ප්‍රමිතිය පිළිබඳව ගැටලු ඇතිවෙමින් තිබෙන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් ඖෂධවේදී අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.
වර්තමානයේ තරුණයන් සහ කාන්තාවන්ගෙන් බහුතරයක් සම පැහැපත් කරගැනීම ඇතුළුව වෙනත් රූපලාවණ්‍ය කටයුතු සඳහා සුවඳ විලවුන් භාවිත කරන බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
ක්ෂණිකව සම පැහැපත් කර ගැනීම සෑම තරුණ කාන්තාවකගේම ප්‍රධාන අරමුණ බැවින් ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍ය අධි මාත්රාවන්ගෙන් යුක්තව නිපද වූ ආලේපන හා එන්නත් වර්ග රට තුළට ගෙන්වන බවට හෙළිවෙමින් තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
මෙම ආලේපන හා එන්නත් මගින් පිළිකා ඇතිවන බවට තහවුරු වී තිබෙන නිසා ආලේපන හා අනෙකුත් රූපලාවණ්‍ය කටයුතු කර ගැනීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසද එම සංගමය ජනතාවගේ ඉල්ලා සිටී.
සුවඳ විලවුන් නියාමනය නොකිරීම දිගින් දිගටම සිදුවුවහොත් එය රටට අනතුරුදායක විය හැකි බැවින්, වහාම එය ඖෂධ නියාමන අධිකාරිය යටතේ හෝ වෙනත් ආයතනයක් මගින් සිදුකරන ලෙසද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.