සුදු වෑන් සංස්කෘතිය, නාදුනන තුවක්කු කරුවන් සහ අන්තවාදී බලවේග වියත් මඟ ඔස්සේ යළී පණ ලැබුව හොත් ඒ පිටුපස සිටි බිහිසුණු ඒකාධිපතියා යළි හිස ඔසවනු ඇතැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පැවසිය.
රටේ වත්මන් තත්ත්වය පිලිබඳ කොළඹ පවතී දේශනයකදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“පසුගිය රාජපක්ෂ පාලන සාමය තුළ මෙරට යුධ හමුදා මුලස්ථාන භුමිය නිදහස් පක්ෂ නිර්මාතෘ එස්. ඩබ්. අර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ පිළිරුවටද අගෞරව කරමින් සින්නක්කරව විකුණා දැමුවා. යලි කිසිදු හිරිකිතයකින් තොරව 2020 දී රාජ්‍ය බලය අල්ලා රට නැවත ඒකාධිපතිවාදයකට තල්ලු කිරීමේ විපත්මඟට එම භුමියේ සිටම සැලසුම් සකස් කිරීම දෛවයේ සරදමක්.
රාජපක්ෂ පවුල් සන්ධානය සිය ගජමිතුරු ව්‍යාපාරික ප්‍රජාව පිරිවරා ගෙන තරු හතේ හෝටල් පහසුකම් විදිමින්, රටත්, ජනතාවත් දුප්පත්කමින් මුදවා ගැනීමේ දර්ශනයක් ඉදිරිපත් කිරීම නිර්ලජ්ජිත ප්රයත්නයක්. එමඟින් ඔවුන්ගේ සැබෑ අරමුණ සහ ගමන් මඟ විපත් මඟක් බව පැහැදිලිව පෙන්නුම් කළා. පුදුමයට කරුණ නම් ජනතාවාදී යැයි කියන විපත් මඟ කරවන්නන් රුපියල් 50ක මාළුපාන් ගෙඩියක් තරු හතේ ෂැංග්‍රීලා හෝටලයේදී රුපියල් 195කට භුක්තිවිදිමින් තමන් නිර්ධන පන්තිය සමඟ ජිවත් වන බව පෙන්නුම් උත්සාහ කිරීමයි.
රාජපක්ෂ රෙජීමය දැඩිව වාමාංශික දේශපාලන ධාරාව නියෝජනය කරන බව කියාපාමින් සිටී. කෙසේ වුවත් ඔවුන් වටා රැදී ඇත්තේ මෙරට සම්පත් සුරා කෑ ධන කුවේරයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් බව නොරහසකි.
මෙරට ඒකාධිපතිවාදය, සුදු වැන් සංස්කෘතිය සහ නාදුනන තුවක්කුකරුවන්ගේ ප්‍රහාර වලට මුල් වූ පිරිස් වලට යළි බලය ලබා දීම තුළින් සිදු වන්නේ රටේ ජනතාවගේ නිදහස සහ ප්රජාතන්ත්රවාදය මුළුමනින්ම අහෝසි වී යාමයි. ජාතින් අතර සංහිඳියාව වෙනුවට ජාතිවාදී,ආගම්වාදී සහ අන්තවාදී පිරිස් වලට බලය ලබා දීමෙන් රට විනාශය කරා ළඟා වීම වැළක්විය නොහැකි වනු ඇති.”