සෝභිත හිමි, රනිල්, මෛත්‍රීපාල, ෆොන්සේකා ප්රමුඛ නායකයෝ ගිවිසුමට අත්සන් තබති
ඉදිරි ජනාධිපතිවරණයේ කටයුතු වෙනුවෙන් පොදු විපක්ෂයේ පක්ෂ සහ සිවිල් සංවිධාන අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (01දා) විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී සිදුකෙරේ.
අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට පෙර කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පිහිටි බුද්ධ ප්‍රතිමාව අබියසදී ආගමික කටයුතු සිදුකිරීමට නියමිත අතර, ඒ සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ සහ එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ, ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ඇතුළු පොදු විපක්ෂයේ පක්ෂ නියෝජිතයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහ ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වූ පිරිසද සහභාගිවිමට නියමිතය.
මීට අමතරව ජාතික හෙළ උරුමය සමග අභ්‍යන්තර ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බවට වාර්තා වන අතර, ගිවිසුම්වලට අත්සන් තැබීමෙන් පසු පොදු අපේක්ෂක ප්රචාරක කාර්යාලය විවෘත කිරීමටද නියමිතව තිබේ.
එය කොළඹ හැව්ලොක් ටවුමේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක පිහිටා ඇති.
පොදු අපේක්ෂකයාගේ ඇප මුදල් තැන්පත් කිරීමත් අද (01දා) දිනයේදී සිදුකිරීමට සැලසුම් කර තිබේ.
පක්ෂ අතර ඇති කරගන්නා අවබෝධතා ගිවිසුමට දින 100 කින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ රටට ගැළපෙන ආකාරයට ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම, ගොවි, කම්කරු, ධීවර ජනතාවගේ ගැටලුවලට ලබාදෙන සහන සහ කෘෂිකර්මාන්ත, ධීවර කර්මාන්තය දියුණු කිරීමට සිදුකරන කටයුතු පිළිබඳව සහ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම හා මැතිවරණ ක්රමයේ වෙනස්කම් සිදුවන ආකාරයද මෙහිදී අත්සන් තැබෙනු ඇත.