පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බහුතර කැමැත්ත ඇති පුද්ගලයෙකු විපක්ෂ නායකවරයා කිරීමට අදාළව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා තීන්දුවක් ගතයුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (09දා) ප්රකාශ කළේය.
මීට පෙර පාර්ලිමේන්තුවේ ඇති වූ සිදුවීම් පූර්වාදර්ශයට ගෙන කථානායකවරයා ලබා දී තිබෙනා තීන්දුව පිළිබඳව වත්මන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාට අවබෝධයක් ඇතැයි තමන් විශ්වාස කරන බවද හිටපුජනාධිපතිවරයා කියා සිටියේය.
වත්මන් ආණ්ඩුව පත්වූ පසුව ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ඉවත් කළ සේවකයන් පිරිසක් මුණගැසීමට නාරාහේන්පිට අභයාරාමයට පැමිණි අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
"විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් දැන් ගැටලුවක් නැහැ කියලයි මම හිතන්නේ. විපක්ෂ නායකවරයා තෝරන්නේ විපක්ෂයේ කණ්ඩායමෙන්. වැඩිදෙනෙකුගේ කැමැත්තට තෝරන්න කියලා කතානායකතුමා තීන්දුවක් දීලා තියෙනවා. එම තීන්දුව දීල තියෙන්නේ මීට ඉස්සෙල්ලා තිබුණු පූර්වාදර්ශයක් අනුවයි. ගාමිණී දිසානායකයි, රනිලුයි ඉල්ලපු වෙලාවේ රහස් ඡන්දයක් තියලා විපක්ෂ නායක තෝරාගන්න විපක්ෂයට බාර දුන්නා. ඒ වෙලාවේ ගාමිණීට ඒක හිමිවුණේ. ඒ විදිහටම තමයි මෙතනදිත් කරන්න තියෙන්නේ. වැඩිදෙනෙක් කැමැත්ත තියෙන කෙනාට විපක්ෂනායකම දෙන්න කියන පදනම සන්ධානයේ මහලේකම්ට භාරදීලා තියෙනවා. ඔහු තීන්දුවක් ගන්න ඕන වැඩිදෙනෙක් කැමති කාටද කියලා.
මම හිතන්නේ නිමල් සිරිපාල විපක්ෂනායකතුමන් ඒක අවබෝධ කරගෙන තියෙනවා. වැඩිදෙනාගේ මනාපය කාටද එයා විපක්ෂ නායක වෙන්න ඕන. වැඩිදෙනා අකමැති කෙනෙක් විපක්ෂනායක කරන්නෑනේ. හැබැයි වැඩිදෙනා අකමැති කෙනෙක් අගමැති කරන්න පුළුවන්" යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.