විපක්ෂ නායක ධුරය සම්බන්ධ අර්බුදය ඊළඟ පාර්ලිමේන්තුව ආරම්භ කරන තෙක් පවතිනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන ආරංචි මාර්ග සදහන් කරයි.
නව සභා වාරය සැප්තැම්බර් පළමුවැනිදා ආරම්භ කිරීමට නියමිත බවත්, එතෙක් විපක්ෂනායක ධුරයට කවුරුන් පත්කරන්නේදැයි සාකච්ඡා කරන බවත් සන්ධානයේ නායකයෙක් සඳහන් කළේය.
විපක්ෂනායක ධුරය ලබාගන්නැයි සන්ධානයේ හවුල්කාර පක්ෂ වෙතින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙන බවත්, බහුතරයක් මන්ත්‍රීවරුන් බලපෑම් කළහොත් හිටපු ජනාධිපතිවරයාට එම ධුරය භාරගැනීමට සිදුවන බවත් එම නායකයා ප්‍රකාශ කළේය.
වෙනත් දේශපාලන පක්ෂයකට විපක්ෂනායක ධුරය ලබාගැනීමට ඉඩ නොතබා කෙසේ හෝ එය සන්ධානය යටතේ තබාගැනීම සඳහා මේ සතිය තුළ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට එහි හවුල්කාර පක්ෂ තීරණය කර තිබේ.
ආණ්ඩුවේ ඇමති ධුර ලබාගැනීමට සන්ධානයේ පිරිසක් සූදානම් වන බැවින් නිර්මාණය වී ඇති දේශපාලන ව්‍යාකූලත්වය තුළ විවිධ සංවාදයන් සිදුවෙන බවත්, නව පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු විපක්ෂනායකවරයා පිළිබඳ අවසන් තීන්දුවකට එළඹිය හැකි බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.