දිවයින පුරා විදුලිය බිඳ වැටීමට හේතුවූ කරුණු පිළිබඳව විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (23දා) පාර්ලිමේන්තුවේදී කරුණු අණාවරණය කළේය. ඒ අනුව ප්‍රධාන විදුලි බිඳ වැටීම් පිළිබඳව ඔහු මෙසේ කරුණු ඉදිරිපත් කළේය.
01 - 2016 පෙබරවාරි 25 වන දින සවස 2.10 ට පමණ දිවයින පුරා විදුලි බිඳවැටීම හේතුව ඇත්තේ පොල්පිටිය - කොළොන්නාව 132 Kv සම්ප්‍රේෂණ පද්ධතියට අකුණක් වැදීම නිසා හෝ වෙනත් සිදුවීමක් හේතුවෙන් රැහැන් මාර්ගය භූගතවීමකින් සම්ප්‍රේෂණ මාර්ගය පද්ධතියෙන් ඉවත් වීමත් සමඟ එම අවස්ථාවේ ජනනය වෙමින් තිබූ විදුලි ප්‍රමාණය පද්ධතියේ අනෙකුත් විදුලි රැහැන්වලට දරාගන්නට බැරිවීම නිසා ආරක්ෂිත පියවරක් වශයෙන් සියළු බලාගාර පද්ධතියෙන් විසන්ධි වීමය.
02 - 2016.03.13 වන දා සවස 2.20 ට පමණ දිවයින පුරා ක්‍රියාත්මක වූ විදුලි බිඳවැටීම බියගම 132 Kvට්රාන්ස්ෆෝමරයක කොටසක් වන Tap – Changer පුපුරා ගිනිගැනීමයි. මෙම ගිනිගැනීම හේතුවෙන් ඒ අවට තිබූ සම්ප්‍රේෂණ මාර්ග විදුලි පද්ධතියෙන් ඉවත් වී ඇත. මේ අවස්ථාවේදී නොරොච්චෝල බලාගාරයේ මෙ.වො 700 ක ධාරිතාවෙන් විදුලි ජනනය වී ඇති අතර, මෙම ප්‍රමාණය සම්ප්‍රේෂණය කිරීමට අනෙකුත් සම්ප්‍රේෂණ මාර්ග වලට නොහැකිවීම නිසා ඇති වූ අසමතුලිතාවයන්ට මුහුණ දීමට පද්ධතියේ සියළුම විදුලිබලාගාර ආරක්ෂිත පියවරක් වශයෙන් පද්ධතියෙන් ඉවත්වී ඇත.
03 - 16 දා සවස 2.30 ට පමණ 13 වන දින බියගම දී පුපුරා ගිය ට්‍රාන්ස්ෆෝමරයේ කොටසක් පුපුරා ගිය ආකාරයටම කොටුගොඩ පිහිටි ට්‍රාන්ස්ෆෝමරයේ කොටසක්ද පුපුරා ගියත් දිවයින පුරා විදුලි බිඳ වැටීම ඇති නොවන පරිදි විදුලි පද්ධතිය ආරක්ෂා කර ගැනීමට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට හැකියාව ලැබුණි.