ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අතර සාකච්ඡාවක් අද (21දා) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
පරිසරය සුරකිමින්, ආර්ථීකය නංවමින් අනාගතයේදී බලාගාර ඉදිකළ හැකි ස්ථාන සැලසුම්, ඉදිරිකාලයේදී විශාල පරිමාණයේ සුළං බලාගාර දක්වා ගමන් කිරීම යන කරුණු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු බව එම මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මීට අමතරව විදුලි බලමණ්ඩලයට විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ලවී ඇති චෝදනා හා අභියෝග පිළිබඳවද ඉංජිනේරු සංගමය ජනාධිපති දැනුවත් කළ බවද එහි දැක්වේ.
මේ සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී. පෙරේරා, අමාත්‍යාශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.ඩී.එස්. විජේපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව තිබිණි.