උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් අත්තනෝමතිකව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටි පී.සත්‍යලිංගම් මහතා මසකට අනිවාර්ය නිවාඩු ගැන්වීමට විරෝධය පළකරමින් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ ක්‍රියාකාරීහු පිරිසක් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ.
උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සිවුදෙනාගෙන් දෙදෙනෙකුට පමණක් දූෂණ චෝදනා එල්ල වී ඇති අවස්ථාවේදී මහඇමතිවරයා විසින් අනෙක් අමාත්‍යවරුන් දෙදෙනාද මසක අනිවාර්ය නිවාඩු ගැන්වීම දැඩි අසාධාරණයක් බවත් වහාම එම තීරණය ඉවත් කරගත යුතු බවත් විරෝධතාකරුවෝ එහිදී පවසා සිටියහ.
එම අවස්ථාවේදී අදාළ විරෝධතාව ඉදිරිපිටට පැමිණි උතුරු මහඇමතිට පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් කියා සිටියේ පළාත් සභාවේ සිටි දූෂකයන් පලවා හැරීමට උතුරු මහඇමති ගත් තීරණය අගය කරන බවටත් ඔහු ඉදිරියටද මහඇමති වශයෙන්ම සිටිය යුතු බව හා ඔහුට එරෙහිව කිසිවෙකුටත් එරෙහිවීමට ඉඩ නොතබන බවයි.
මෙහිදී දෙපිරිස අතර බහින් බස්වීමක් ඇති වීමෙන් අනතුරුව එම ස්ථානයේ දැඩි උණුසුම් තත්ත්වයක්ද ඇති විය. එය ගැටුමක් දක්වා වර්ධනය වීමට ගිය අවස්ථාවේදී වව්නියාව පොලීසිය මැදිහත් වී තත්ත්වය පාලනය කරන ලදී.