මුදල් අමාත්‍යාංශය සකස් කළ 2016 වර්ෂයට අදාළ ශ්‍රී ලංකා රජයේ ගිණුම් විගණනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් මතයක් පළ කිරීම තමා ප්‍රතික්ෂේප කළ බව රජයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසීය.
රජයේ බැඳුම්කර සම්බන්ධයෙන් මුහුණත අගය සඳහන් කරන ලෙස දිගින් දිගටම මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නත් ඔවුන් එය අනුගමනය නොකිරීම නිසා මුදල් අමාත්‍යාංශය සකස් කළ රජයේ ගිණුම් විගණනය කිරීම තමා ප්‍රතික්ෂේප කළ බව ගාමිණී විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
බැඳුම්කර කොමිසමේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතාගේ මෙහෙයවීම යටතේ නැවත ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කොමිසම හමුවේ හත්වැනි දිනයටත් සාක්ෂි දුන් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා එසේ පැවසීය.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදු කෙරේ.
මෙම බැඳුම්කර නිකුතුවට අදාළව මහ බැංකුව තමාට වැරදි තොරතුරු ලබාදී ඇති බවත්, එම දත්ත පදනම් කරගනිමින් විගණකාධිපති වාර්තාව සකස් කොට ඇතැයිද බැඳුම්කර කොමිසම හමුවේ හත්වැනි දිනයටත් සාක්ෂි දෙමින් ගාමිණි විජේසිංහ මහතා පැවසීය.
“1995 අංක 15 දරණ ශ්‍රී ලංකා විගණන හා ගිණුම්කරණ ප්‍රමිති පනත මගින් වරලත් ගණකාධිකාරීවරුන්ට වාර්තා සකස් කිරීම සඳහා නිර්දේශයන් ලබා දී තියෙනවා. එය අනුගමනය කරමින් වාර්තා සකස් කරන ලෙස රජයේ ආයතනවලට වසර ගණනාවක් පුරාම දැනුම් දුන්නත් ඔවුන් ඒ අනුව කටයුතු කරන්නේ නැහැ.
රජයේ බැඳුම්කර සම්බන්ධයෙන් මුහුණත අගය සඳහන් කරන ලෙසත්, ඒ මත ගිණුම් තබන ලෙසත් දිගින් දිගටම මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නත් ඔවුන් එය අනුගමනය කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ වට්ටම් සහිත අගය මත ගිණුම් තැබීමයි.
පසුගිය කාලය පුරාම මේ ප්රශ්නය තිබුණා. පසුගිය කාලයේදී මෙය නැවත නොකරන ලෙස දැනුම් දීම් කරමින් එම වාර්තා විගණනය කිරීම මා විසින් කළා. ඒත් මෙවර මුදල් අමාත්‍යාංශයේ වාර්තා විගණනය කිරීම හා ඒ සම්බන්ධයෙන් මතයක් පළ කිරීම මා ප්‍රතික්ෂේප කළා."