කොළඹ 02, ස්ටුවර්ඩ් වීදියේ ස්ථාපිත වෑකන්ද නිවාස යෝජනා ක්රමයේ ගොඩනැගිලි විශාල අවදානම් තත්ත්වයක පවතින බැවින්, එහි නිවැසියන් වහාම අදාළ ස්ථානයෙන් ඉවත් කර, සුරක්ෂිත ස්ථාන කරා යොමු කරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ, කොළඹ 02, ස්ටුවර්ඩ් වීදියේ පිහිටි වෑකන්ද නිවාස යෝජනා ක්රමයේ පවතින අවදානම් තත්ත්වය සහ ඒ සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව අද (25දා) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
" 2012 වසරේදී ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ඉදිරිපත් කළ වාර්තාවකට අනුවත් මෙම ගොඩනැගිල්ල අනාරක්ෂිත තත්ත්වයේ පවතින්නක්. ඒ කියන්නේ මේ වන විට තත්ත්වය වඩාත් සංකීර්ණයි.ඒ නිසා මෙම නිවාස යෝජනා ක්රමයේ සිටින ජනතාව හැකි ඉක්මණින් මේ අවදානම පිළිබඳව දැනුවත් කර මෙම ස්ථානයෙන් ඉවත්කරන ලෙස ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මා අදාළ අංශ වෙත දන්වා සිටිනවා.
ඔවුන්ට තාවකාලික වාසස්ථාන ලබාදීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රථිපාදන ආපදා කළමණාකරණ අමාත්‍යාංශය විසින් ලබාදීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව, වහාම කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට මා පියවර ගන්නවා. හැකි පළමු තත්ත්පරයේම මෙහි නිවැසියන් මෙම ජීවිත අවදානමෙන් මුදවා ගැනීමට කටයුතු කළ යුතුයි" යැයි ප්‍රකාශ කළේය.