කෙළඹ නගරයේ මළාපවහන පද්ධතිය හා වැසි ජලය බැස යන පද්ධතිය එකක් බවත්, ඒ හේතුවෙන් කොළඹ නගරය අනතුරක තිබෙන බවත්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
එමෙන්ම තවත් වසර 05කින් කොළඹ ගංවතුරින් තොර, දකුණු ආසියාවේ මතුපිටින් මෙන්ම, අභ්‍යන්තරයෙන් පිරිසිදුම නගරය බවට පරිවර්ථනය කරන බවද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (30දා) කොළඹ අගනගර ආශ්රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතියට අනුව ශාන්ත සෙබස්තියන් උතුරු ඇළ මාර්ගයේ වැසි ජල පොම්පාගාරය සහ ජල අගුළු දොරටුව ඉදිකිරීමේ ආරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අපි හුඟක් දෙනෙක් කුස්සිය, වැසිකිළිය ලස්සනට තියා ගන්න උනන්දුව දක්වනවා අඩුයි. කොළඹ නගරයත් ඒ වගේ. කොළඹ නගරයේ කොච්චර ගොඩනැගිලි ඉදිකළත්, අහස් මාළිගා හැදුවත්, මාර්ග පද්ධති හැදුවත්, කොළඹ නගරයේ කුස්සියයි, වැසිකිළියයි තවමත් බොහොම බරපතළ අනතුරුදායක තත්ත්වයකයි තිබෙන්නේ. එහි එක ප්‍රධාන පැත්තක් තමයි ගංවතුර උවදුර. ඇල මාර්ග අවහිර කිරීම, අවහිර වන සේ ගොඩනැගිලි ඉදිකිරීම වැනි අපේ වැරදි සහ අපට වළක්වන්න බැරි ගෝලීය උණුසුම වැඩිවීම වැනි කරුණු නිසා අපට බරපතළ ගැටල්වලට මුහුණදෙන්න සිදුවෙනවා.
අපේ කොළඹ නගරයේ භූගත ජලනළ පද්ධතිය වසර 150ක් පමණ පරණයි. මළාපවහන පද්ධතියත් ඒ වගේමයි. ඉතාම කනගාටුදායක විදිහට එම මළාපවහන පද්ධතිය වැසි ජලය බැස යන පද්ධතියයි අද දෙකම එකක් වෙලා තිබෙන්නේ. ඒ නිසා ඉතාම භයානක තත්ත්වයක් බේරේ වැව ආශ්රිත ප්‍රදේශවල ඇතිවී තිබෙනවා. බේරේ වැව ආදිය පිරිසිදු කරන්න තිබෙන ප්‍රධාන බාධාව කොළඹ නගරයේ මළාපවහන පද්ධතිය වැසි ජලය යන පද්ධතියත් සමග එකට එකතු කර තිබීම. ඒ නිසා ඉතාම භයානක තත්ත්වයක් එතන ඇති වී තිබෙනවා. දැන් එම මළාපවහන පද්ධතියෙත් යම් කිසි වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. නමුත් කොළඹ නගරය ගලවා ගැනීමට, පිරිසිදු කර ගැනීමට අවශ්‍ය නම් මේ මළාපවහන පද්ධතිය විධිමත්ව පවත්වාගෙන යාමට විධිමත් ආකාරයට සිදු කර අපජලය මුදාහැරීම සිදු කළ යුතුයි. නැතිනම් පිටින් මේ ගස් කොළන් වවලා, පාට ගාලා තිබුණට වැඩක් නැහැ.” යැයි පැවසීය