වැලිකඩ බන්ධනාගාරයට හමුදා අනුකණ්ඩායම් ඇතුළත් වී එහි සිටි සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීම සහ තුවාල සිදුකිරීම පිළිබඳව සොයාබැලීමට පත්කළ ස්වාධීන කමිටුවේ පරීක්ෂණ අවසන් බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.
අදාළ පරීක්ෂණ වාර්තා ලැබුණු පසු වගකිව යුත්තන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත ද අමාත්‍යවරයා සඳහන් කළේය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුතින් බඳවාගත් නියාමකයන් 500 දෙනෙකුට පත්වීම ලිපි ප්රදානය කිරීම සඳහා අරලියගහ මන්දිරයේදී ඊයේ (24 දා) පැවැති උත්සවය අමතමින් හෙතෙම මේ බව පැවසීය.
2011 වසරේ දී සිදුවූ මෙම සිද්ධිය නිසා රට ජාත්‍යන්තරය ඉදිරියේදී කළු පැල්ලමක් එකතු කරගත් බව ඔහු එහිදී පැවසීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජිනීවාහිදී අනුමත කරගත් මානව හිමිකම් කඩවීම පිළිබඳ යෝජනාව තුළ ප්‍රධානම බරපතළ චෝදනාව වී තිබෙන්නේ මෙම සිදුවීම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
බන්ධනාගාරගත විය යුතු විශාල පිරිසක් එළියේ නිදැල්ලේ සිටින බවත්, එහෙත් බන්ධනාගාරයට නොපැමිණිය යුතු පිරිසක් බන්ධනාගාරගත වී සිටින බවද හෙතෙම සඳහන් කළේය. මේ නිසා සිරගත වන සියලුම දෙනාට මනුෂ්‍යයන් සේ සලකා ඔවුන් සියලුමදෙනාම යහපත් පුරවැසියන් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.