උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට උපාධි සමානතාව යළි ඇති කරන ලෙස පසුගිය 29 වැනිදා විරෝධතාවක නිරත වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජල ප්‍රහාර, කඳුළු ගෑස් හා බැටන් පොලු ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව කරුණු විමසීමට වැඩබලන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ ගාමිණී මතුරට මහතා අද (02දා) ජාතික පොලිස් කොමිසමට කැඳවා තිබේ.
පූජිත් ජයසුන්දර මහතා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පතිවරයා වන අතර, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා උගන්ඩාවේ සංචාරයක නිරත වන බැවින් ඊයේ (01 දා) සිට ලබන 05 වැනිදා දක්වා පොලිස්පති තනතුරේ වැඩ ආවරණය කරන්නේද පූජිත් ජයසුන්දර මහතාය. ගාමිණී මතුරට මහතා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරයි.
ජාතික පොලිස් කොමිසමට ලැබුණු පැමිණිල්ලක් අනුව ශිෂ්‍යයන්ට පහරදීම පිළිබඳව සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එම කොමිසම ඉදිරියේ අද (02 දා) උදෑසන 10.00 පෙනී සිටින ලෙසට දන්වා තිබුණි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව පත්කළ ජාතික පොලිස් කොමිසම පවත්වන පළමු පරීක්ෂණයද මෙය වන අතර, ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා ලෙස සිරි හෙට්ටිගේ මහතා කටයුතු කරයි.
පොලිස් කොමිසම විසින් සිදුකරණ පරීක්ෂණයකදී වැරදිකරුවන් වන අයට අපරාධ නීතිය යටතේ දඬුවම් ලබාදිය හැකි බවද වාර්තා වේ.
මීට අමතරව ශිෂ්‍යයන්ට සිදුකළ පහරදීම පිළිබඳව අද (02දා) අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයද ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතය.