එකම අවස්ථාවක ප්‍රදේශයේ එකම තැනක හෙරොයින් වැටලීම් දෙකක් සිදු කිරීමේ හැකියාවක් නැති බවත්, ඒ ආකාරයේ වැටලීම් දෙකක් කළ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පවසන කතාව විශ්වාස කළ නොහැකි බවත් සඳහන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා කුඩු ග්‍රෑම් 41ක් ළඟ තබාගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කළේය.
මරදාන වැනි ප්‍රදේශයක කාන්තාවක කුඩු සමග අත්අඩංගුවට ගෙන ඉතාම සුළු වේලාවක් තුළ එම ස්ථානයේදීම තවත් පිරිමියෙකුද කුඩු සමග අත්අඩංගුවට ගත්තා යැයි කීම විය නොහැකි සිද්ධියකැයි පෙන්වා දුන් නීතීඥ නිහාල් ගුණසිංහ මහතා විත්තිය වෙනුවෙන් සාක්ෂි නොකැඳවාම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200(1)වගන්තිය යටතේ විත්තිකරු නිදහස් කරන්නැයි කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිය වෙනුවෙන් සාක්ෂි නොකැඳවාම මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ මරදානේ පදිංචි මොහොමඩ් නසීර් මොහොමඩ් රංජිත් නමැත්තෙකි.
2008 මාර්තු මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මරදානේදී හෙරොයින් ග්‍රෑම් 41ක් ළඟතබාගන්නා ලදැයි විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.