රථවාහනවල අයිතිය තම නමට පවරාගැනීම සඳහා ලබාදී ඇති සහන කාලය ලබන වසරේ ජනවාරි 01 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (29දා) අමාත්‍ය මණ්ඩලය රැස්වී ඇති අතර, එහිදී මෙම යෝජනාව සාකච්ඡාවට ගෙන තිබේ.මේසඳහා අද දිනයේදී අනුමැති හිමි වී නොමැති අතර, මේපිළිබඳ සාකච්ඡා කොට ඉදිරි සතියේදී තීරණයක් ගැනීමට යෝජනා වී ඇත.
දඩ මුදලකින් තොරව අදාළ ලිපිගොනු සම්පූර්ණ කිරීම සඳහා ලබාදී ඇති මාස 03ක සහන කාලය මෙම මස 30 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබිණි.කෙසේවෙතත් විශාල පිරිසක් ඒ සඳහා ඉදිරිපත්වීම හේතුවෙන් මෙම දින කිහිපය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශාල තදබදයක් ඇතිවී තිබේ.
ඒ අනුව රථවාහන අයිතිය තම නමට පවරා නොගත් කොපමණ පිරිසක් සිටිනු ඇත්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමටද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.