පාර්ලිමේන්තු ඉතිහාසයේ නව වාර්තා රැසක් තබමින් ශ්‍රී ලංකාවේ අට වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (01දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.
ලෝකයේ සිවු වරක් අගමැති ධුරය දැරූ දෙවැනි තැනැත්තා බවට පත්ව සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ලෙස කටයුතු කිරීම සුවිශේෂත්වයකි. එමෙන්ම මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම පිරිසකගේ කැමැත්තෙන් පාර්ලිමේන්තුවට පත්වූ පුද්ගලයාද ඔහු වීම විශේෂත්වයකි.
තවද හිටපු විධායක ජනාධිපතිවරයෙකු නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන පළමු අවස්ථාවද මෙය වේ. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.
පළාත් සභාව නියෝජනය කළ හිටපු ප්‍රධාන අමාත්‍යවරුන් තිදෙනෙකු එකවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීම මෙන්ම පළාත් සභා රැසක හිටපු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන අවස්ථාවක් ලෙසද මෙය සැලකිය හැකිය. බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හරින් ප්‍රනාන්දු යන මහත්වරු එලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරති. මේ සියල්ල මෙවර පාර්ලිමේන්තුවේ අලුත්ම වාර්තා වේ.
තවද වසර 30කට පසු අඹුසැමි යුවළක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමද වාර්තාවකි. ඒ දයා ගමගේ මහතා සහ අනෝමා ගමගේ මහත්මිය එකම පාර්ලිමේන්තුව නියෝජනයට වරම් ලැබීමය. අවසන් වතාවට එකම පාර්ලිමේන්තුව තුළ අඹු සැමි යුවළක් නියෝජනය කර ඇත්තේ 1984 වසරේදීය. ඒ කුණ්ඩසාලේ අසුන නියෝජනය කළ ආර්.පී. විජේසිරි මහතා සහ හාරිස්පත්තුව නියෝජනය කළ එල්.එම්. විජේසිරි මහත්මියයි.
අද (01දා) පෙ.ව 9.30 ට මුලින්ම පාර්ලිමේන්තුව රැස්වී කථානායකවරයෙකු තෝරාගැනීමේ කටයුත්තසිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ඩබ්ලිව්.බී.ඩී. දසනායක මහතා %අද^ට පැවසීය. මෙහිදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව මන්ත්‍රීවරුන්ට ආසන පැනවීමක් සිදු නොකෙරෙන අතර, මන්ත්‍රීවරුන්ට කැමති ආසනයක වාඩිවීමේ හැකියාව තිබෙන බවත් පාර්ලිමේන්තු කථානායකවරයෙකු තෝරාගැනීමේ අවස්ථාව සඳහා නම් එකකට වඩා යෝජනා වුවහොත් ඒ සඳහා ඡන්ද විමසීමක් සිදුකිරීමට නියමිත බවත් හෙතෙම පැවසීය.
කථානායකවරයෙකු තෝරාගැනීමෙන් අනතුරුව ඔහු දිවුරුම්දීම සිදුකරන අතර, පසුව කථානායකවරයාගේ මූලිකත්වයෙන් සියලුම මන්ත්‍රීවරුන්ගේ දිවුරුම්දීම සිදුකරයි.
අනතුරුව නියෝජ්‍ය කථානායවරයෙකු සහ නියෝජ්‍ය කාරකසභා සභාපතිවරයෙකු තෝරාගැනීම සිදුකෙරේ. මෙම කාර්යයන් සියල්ල අද (01දා) උදෑසන සිදුකිරීමට නියමිත අතර, පස්වරු 3.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතය.
මෙහිදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ සමාරම්භක උලෙළ ඉතාම දැකුම්කලු අන්දමින් පැවැත්වීමට සූදානම්කර ඇති අතර, ඒසඳහා ත්‍රිවිධ හමුදා ආචාර වෙඩිමුර 21ක උත්තමාචාරයද එක්කරන බවත්, ජයමංගල ගාථා ගායනය ආදිය සිදුවන බවත් පාර්ලිමේන්තු මහලේකම් ඩබ්ලිව්.බී.ඩී. දසනායක මහතා පැවසීය.
විදේශ තානාපතිවරුන්, විනිශ්චයකාරවරුන්, රජයේ උසස් නිලධාරීන් ඇතුළු පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් සමාරම්භක උලෙළ සමග එක්වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තුවේ මූලික වැඩකටයුතු අවසන්වීමෙන් අනතුරුව පක්ෂනායක රැස්වීමක් පැවැත්වීමට සූදානම් කර ඇති අතර, පාර්ලිමේන්තුවේ ඉදිරිකටයුතු එහිදී තීරණය කෙරේ. කෙසේවෙතත් පාර්ලිමේන්තුව එළඹෙන 03වැනිදා නැවත රැස්වීමට තීරණය කර තිබේ.