වසර1100ට පෙරත් නාට්‍ය අවසරපත් නිකුත් කරලා
රජගලතැන්න පුරාවිද්‍යා භූමියේ ගවේෂණවලදී හමුවූ වසර 1100ක් පැරණි ශිලා ලිපියක නාට්‍ය ශාලාවක අවසරපත් නිකුත් කරන්නෙකු පිළිබඳව සඳහන් වන බවත්, මේ අනුව ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ලංකාවේ නාට්‍ය කලාව තිබී ඇති බව පැහැදිලි වන බවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය.
නාට්‍ය ශාලා ගෘහයක සලාක හෙවත් අවසරපත් නිකුත් කරන නායකයෙකු විසින් රං කලඳක් පරිත්‍යාග කර එම ප්රදානයේ බලයෙන් බුදුබව ප්‍රාර්ථනා කර තිබෙන බව එම ශිලා ලිපියේ සඳහන් බව මහාචාර්යවරයා සඳහන් කළේය.
රජගලතැන්න කැණීම්වලදී මැටි මූර්තියෙන් කළ නැටුම් ශිල්පීන්ගෙන් කැටයම් කිහිපයක්ද හමුවී ඇති බැවින් ඈත අතීතයේ සිට නාට්‍ය කලාව පැවති ඇති බවට විශ්වාස පළකළ හැකි බවද ඔහු පවසා සිටියේය.දැනට මෙම ලිපිය පර්යේෂණ මට්ටමේ පවතින අතර, මෙහි මූලික හරයෙන් ලංකාවේ නාට්‍ය කලාව තිබූ බවට පැහැදිලි සාක්ෂි තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ප්‍රධාන ස්ථූපය අසල බැම්මක තිබී හමුවී ඇති මෙම ශිලා ලිපිය ක්‍රිස්තු වර්ෂ 09 වැනි සියවසට හෙවත් අදින් වසර 1100 පෙර කාලයට අයත් වන අතර මෙම ලිපියේ පේලි හතරක් සඳහන්ව තිබේ.
අනුරාධපුරයට අයත් වෙනත් ස්ථානයකින් හමුවූ අදින් වසර 2000 කට පමණ පෙර ලියන ලද බ්රාහ්මීය ශිලා ලේඛනයක නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු පිළිබඳව කියවෙන අතර, රජගල ලිපියෙන් පැහැදිලි වන්නේ අනුරාධපුර මුල් යුගයේ සිට තිබූ නාට්‍ය ශිල්ප සම්ප්රදාය ඉතා දියුණු ස්වභාවයේ තිබූ බවයි.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශය සහ පුරාවිද්‍යා දෙපාර්මේන්තුව එක්ව 2012 වසරේ ආරම්භ කරන ලද රජගල කැණීම්වලට මේ වනවිට වසර 03 ක් ගතව තිබේ. මෙම කැණීම්වලදී වැදගත් ස්ථාන මෙන්ම වැදගත් ඓතිහාසික කරුණු බොහොමයක් ඉස්මතු වී තිබේ.
මෙම වසර 03 කාලය තුළදී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ සිසුන් යොදවා ගවේශණ 03ක් සිදුකර ඇති අතර, එම පර්යේෂණවලදී නව ඓතිහාසික ස්ථාන 300 ක් හා නව සෙල් ලිපි 06 ක් හමුව ඇත. ඉන් 05 ක් ලෙන් ලිපි වන අතර, එකක් පුවරු ලිපියකි. සොයාගත් මෙම සෙල්ලිපි කියවීමට මේ දිනවල පිටපත් කරන අතර, ඒ සඳහා ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ තුන්වැනි වසරේ සිසුන් යොදවා ගෙන ඇත. දැනට ලංකාවේ ශිලා ලිපි කියවන අයගේ අඩුවක් ඇති නිසා මෙම සිසුන් පුහුණු කිරීම සඳහා මෙම කාර්යයට යොදවා ගත් බව මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
දැනට එක් ලෙනක ලිපියක් කියවා අවසන්ව ඇති අතර, එහි සඳහන්ව ඇත්තේ, 'දෙව රමණ ලෙණ බත තිසහ ලෙණ' යනුවෙනි. එහි තේරුම වන්නේ,
'ප්රරධාන තිස්සගේ දේව රමණ නම් ලෙණ (සංඝයාට)' යනුවෙනි. අනෙක් ගිරි ලිපි මේ දිනවල කියවමින් පවතී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

