කාබනික පොහොර යොදා වගා කළ වසවිසෙන් තොර පාරම්පරික වී වර්ග කිලෝවක් රුපියල් 60 බැගින් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.
මෙවර පාරම්පරික වී කිලෝග්‍රෑම් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ අස්වැන්නක් රටට ලැබී ඇති බවත්, ඉදිරි සතියේ සිට එම වී මිලදී ගැනීම ආරම්භ කරන බවත් ජනාධිපති උපදේශක පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ 'අද'ට පැවසූහ.
පාරම්පරික වී කිලෝග්‍රෑම් මිලියන දහයක් පමණ මිලදීගැනීමට රජය තීරණය කර ඇති බවත්, ඒ සඳහා සමෘද්ධි බැංකු හරහා මුදල් ලබාදෙන බවත් රතන හිමියෝ පැවසූහ.
එමෙන්ම වසවිස නැති රටක් වැඩපිළිවෙළ යටතේ ප්‍රාදේශිය මට්මමේ ප්‍රදර්ශන රට පුරා පවත්වන බවත්, එහි මීළඟ අදියර ලෙස අප්‍රේල් මස 08, 09 සහ 10 දිනවල නුවරඑළියේදී එම ප්‍රදර්ශනය පවත්වන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
එමෙන්ම යල කන්නය වල්නාශකවලින් තොරව වගාකිරීම සඳහා ගොවීන් දැනුවත් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ගොවීන්ට අවශ්‍ය උපකරණ අදිය බෙදාදීම් වරින්වර සිදුකරන බවද රතන හිමියෝ පැවසූහ.
වසවිස නැති රටක් උතුරේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. විග්නේශ්වරන් මහතා මනා පැහැදීමක සිටින බවත්, ඉදිරියේදී උතුරේද මෙම වැඩපිළිවෙළ සාර්ථකව පවත්වන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.