වනාන්තරවලින් හොර රහසේ අල්ලාගෙනවිත් ජාවාරම් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත රහස් පොලිස් භාරයට ගෙන රඳවාගෙන සිටි අලි පැටවුන් පහළොස් දෙනා සම්බන්ධයෙන් විධිමත්ව වෙන වෙනම විමර්ශන පවත්වා වලංගු බලපත්‍ර සහිත අලි පැටවුන් එම පැටවුන්ගේ හිමිකරුවන්ට බාරදෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා පසුගියදා නියම කළේය.
මේ අයුරින් වලංගු බලපත්‍ර නොමැති අලි පැටවුන් වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ තබාගැනීමටද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී නියම කළේය.
නඩු භාණ්ඩ මුදාහැරීමේදී එක් එක් භාණ්ඩ සම්බන්ධයෙන් වෙන වෙනම විමර්ශන පැවැත්විය යුතු වුවත් මෙම අලි පහළොස්දෙනා මුදාහැරීමේදී එවැනි ආකාරයේ විමර්ශනයක් පවත්වා නැති බව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු ගොනුව පරීක්ෂා කිරීමේදී පෙනෙන්නට ඇතැයි සඳහන් කළ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා මහෙස්ත්‍රාත්වරයා දෝෂ රැසකින් යුත් තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව තමන් කනගාටුවට පත්වන බවද සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත රහස් පොලීසියේ භාරයට ගෙන රඳවාගෙන සිටි අලි පැටවුන් පහළොස් දෙනෙකු රුපියල් කෝටි තුන බැගින් වූ බැඳුම්කර මත මාස තුනක කාලයකට එම අලි පැටවුන් මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා පසුගියදා නිකුත් කළ නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී විනිසුරුවරයා එලෙස සඳහන් කළේය.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කොට ඇති ප්රතිශෝධන ඇයදුම්පතේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට සිටින අලි පැටවුන්ගේ හිමිකරුවන් ලෙස ඉදිරිපත් වී සිටින දහතුන්දෙනා අතුරින් දරණාගම කුසලධම්ම හිමියන් ඇතුළු දෙදෙනෙකු හැර සෙසු වගඋත්තරකරුවන් සියලුදෙනාම අධිකරණයේ පෙනී සිටියහ.
බැඳුම්කර මත මාස තුනක කාලයකට එම අලි පැටවුන් මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් නිකුත් කළ නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා එලෙස සඳහන් කළේය.
පෙත්සම්කරු වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.