හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ පැවැති මහා මාර්ග අමාත්‍යාංශය වෙත වෙන් කර තිබූ මුදල් ප්‍රමාණයටත් අමතරව රුපියල් බිලියන 50කට අධික ප්‍රමාණයක් වියදම් කර ඇති බවත්, එම මුදල් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගෙන ඇතැයි විශ්වාස කෙරෙන බවත් මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍ය කබීර් හෂීම් පසුගියදා මාධ්‍ය වෙත අනාවරණය කළේය.
එසේම මේ දක්වා සිදුකර ඇති මූලික පරීක්ෂණවලදී එම මුදලින් සියයට 70කට වැඩි ප්‍රමාණයක් අනවශ්‍ය වියදම් වෙනුවෙන් වැය කර ඇතැයිද ඔහු එහිදී කියා සිටියේය.
'පසුගිය මැතිවරණ කාලසීමාවේදී සිදුවුණු අමතර වියදම් සඳහා බලධාරීන් ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කිරීමක් සිදුකරලා තියෙනවා. අමාත්‍යාංශය මේ වියදම් පිළිගන්නේ නෑ. මේ බිල්පත්වලට මුදල් අනුමත කරපු බලධාරීන්ටම ඒවා නැවත ගෙවන්න සිදුවෙනවා' යැයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඉතා විශාල කාර්යය භාරයක් සිදු කිරීමට වරාය සහ අධිවේගී මාර්ග අමාත්‍යාංශය කටයුතු කළේය. ඒ අනුව මෙම මුදල් නැවත ලබා ගැනීම සඳහා කළයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවී සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මේ අතරම ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිවල ගුණාත්මක තත්ත්වය සහ ඒවාට සිදුවූ වියදම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබාදීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් සහ ඉංජිනේරුවන් පිරිසක් වෙත භාර දී ඇතැයිද මෙම හමුවේදී අනාවරණය විය.
එසේම මාතර සහ බෙලිඅත්ත දක්වා ඉදිකිරීමට නියමිත අධිවේගී මාර්ග ව්‍යාපෘතියද තාවකාලිකව නවත්වා දැමීමට සිය රජය නියෝග ලබා දී ඇතැයිද අමාත්‍ය කබීර් හෂීම් මෙහිදී කියා සිටියේය. මෙයද චීන සමාගමක් විසින් ඉදිකිරීමට නියමිත ව්‍යාපෘතියක් ලෙස පැවතුණි.
මීට අමතරව උතුරු අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා දේශීය සමාගම් පහක් වෙත ලබා දී තිබූ ටෙන්ඩර්ද තාවකා ලිකව අත්හිටුවීමට අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. ඒ සම්බන්ධයෙන් සිදු කළ මූලික පරීක්ෂණවලින් පවා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැඩිපුර රුපියල් බිලියන 50කට අධික මුදලක් ඇස්තමේන්තු කර ඇතැයිද අනාවරණය වී තිබේ.