වරාය නගරය හේතුවෙන් කොළඹ ගිලා බැසීමේ කිසිදු අනතුරක් නොමැති නමුත් ගොඩනැගිලි කිහිපයකට පමණක් බලපෑමක් ඇතිවිය හැකි බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
සිය ෆේස්බුක් පිටුවට ඔහු කළ විඩියෝවක මේ බව දැක්වෙයි. එසේම පස් පිරවීම නිසා ජල තලය ඉහළ යා හැකිවීම ඇත්තක් බවද ඔහු පැවැසිය.
''කොළඹ ෆයිලින් කරලා භූගත ගලට සම්බන්ධ කරපු නැති ගොඩනැගිලිවලට යම් අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් කියලා මේ ප්‍රවෘත්තියේ සඳහන් වෙනවා. එවැනි ගොඩනැගිලි කිහිපයක් තිබෙනවා. පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, ජනාධිපති මන්දිරය, තැපැල් කාර්යාලය වැනි මුළු කොළඹම ගිලා බැසීම ගැන කිසිදු අනතුරක් කියා නෑ.
වරාය නගරයේ හෙක්ටයාර 238ට පිටතින් පස් ගෙනෙද්දී ජල තලය ඉහළ යෑම අනිවාර්යයෙන්ම සිදුවෙනවා. ඒක ඇත්තක්. ඒ ජලතලයේ බලපෑම ගොඩබිමේ තිබෙන ගොඩනැගලිවලට ගලා යෑම වැළැක්වීමට අපි ඇළ මාර්ගයක් හදලා තියෙනවා ඒ පීඩනය පිටවෙන්න.
අපට ඒ පීඩනය පිට කරන්න ස්වාභාවික දිය උගුලක් තිබෙනවා. ඒ තමයි බේරේ වැව. ජලතලය ඉහළ යද්දී ඒ ජලතලය බාර ගන්න යෝධ බේරෙ වැව තිබෙනවා. බේරේ වැවේ ජල තලය ඉහළ යෑම තමයි සිදුවෙන්නෙ. ගොඩනැගිලිවලට යම් බලපෑමක් සිදුවෙනවාද යන්න බැලීම සඳහා පීඩන උපමාන සවිකර තිබෙනවා. එක් අපට කලින් දැනගන්න පුළුවන්.
ගොඩකිරීම්වලින් විශාල ප්‍රමාණයක් කර තිබෙන නිසා යම් බලපෑමක් ඇතිවෙනවා නම් දැන් ඇතිවෙන්න ඕන. අපට එවැනි දෙයක් පේන්න නෑ. ඉදරියේදී ඇති නොවෙනවා කියලා කියන්නෙත් නෑ. ඒකටත් අපි සූදානම් වෙලා තියෙන්න. වරාය නගරයේ ගොඩනැගිලි භූගත ගලට සම්බන්ධ කරන නිසා ගොඩනැගිලිවලට කිසිම බලපෑමක් ඇති වෙන්නේ නෑ. යම්කිසි බලපෑමක් ඇතිවෙනවා නම් එය කලින් දැන ගැනීමේ නවීන උපකරණ අපි සකස් කර තිබෙන්නේ'' යැයි අමාත්‍යවරයා පවසයි.