හම්බන්තොට මාගම්පුර වරාය පරිශ්‍රයේ සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇති සේවකයන් පිරිසට වරාය දේපළවලට හා වරායේ දෛනික කටයුතුවලට බාධා නොපමුණුවන ලෙස දන්වමින් හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල කරුණාරත්න මහතා අද (14) කොන්දේසි 07කින් සමන්විත නියෝගයක් දින 14කට බලපැවැත්වෙන පරිදි නිකුත් කළේය.
හම්බන්තොට පොලීසිය විසින් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව අතිරේක දිසා විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.
01 - හම්බන්තොට වරාය වෙත ඇතුළු වෙන හා පිටවෙන කිසිදු දොරටුවක් අවහිර කිරීමෙන් වැළකිය යුතුය.
02 - වාරය තුළට ඇතුළුවන කිසිදු ජාත්‍යන්තර නෞකාවකට හෝ නාවික හමුදාවට අයත් කිසිදු යාත්‍රාවකට මුහුදෙන් ඇතුළුවීමට හෝ නැවත පිටවීමට බාධා නොපැමිණවිය යුතුය.
03 - රාජකාරි කටයුතු සදහා වරාය තුළට වරාය අධිකාරියේ අවසරය මත ඇතුළු වන කිසිදු පාර්ශ්වයකට තර්ජනය කිරීම,එම අයගේ රාජකාරි වලට බාධා පැමිණවීම නොකළ යුතුය.
04 - සත්‍යග්‍රහයේ නිරත සේවකයන් සතුව වරාය අධිකාරියේ කිසියම් පරිශ්රයක හෝ යන්ත්‍රයක යතුරක් හෝ වෙනත් උපකරණයක් නීත්‍යනුකූලව භාරදී ඇති සේවකයෙකු වේ නම් ඒවා වරාය අධිකාරියේ බලය පවරන ලද සේවකයෙකු වේ නම් ඔහු වෙත එය ප්‍රමාදයකින් තොරව භාරදිය යුතුය.
05 - හම්බන්තොට වරායේ කිසිදු දේපළකට හානි කිරීමෙන් හෝ හානි සිදුවන ආකාරයට හැසිරීමෙන් වැළකිය යුතුය.
06 - වෘත්තීය සමිති ක්රියාමාර්ගයන්හි නිරත කිසිදු අවස්ථාවකදී, එකී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කිසිවක් වරායේ කටයුතු වෙනත් පාර්ශ්වයන් විසින් සිදුකරන විට ඔවුනට බාධා වන පරිදි කටයුතු කිරීමෙන් වැළකිය යුතුය.
07 - කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සඳහා හම්බන්තොට වරායේ කිසිදු චංචල දේපළක් භාවිතයට නොගත යුතුය.
සූරියවැව නුවන් ජයසේකර