ප්‍රධාන අමාත්‍යවරයෙකු නොමැතිවීම හේතුවෙන් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් පිළිතුරු බලාපොරොත්තුවෙන් මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ ගැටලු රැසකට අවශ්‍ය පිළිතුරු සභාගත කිරීමට නොහැකි වීමේ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.
මෙම ප්‍රශ්න පිළිතුරු බලාපොරොත්තුවෙන් පසුගිය ජූලි මාසයේ සිට සභාගත කරන ලද ඒවාය. මේ අනුව මාස දෙකකට අධික කාලයක් පිළිතුරු නොලැබී මෙම ප්‍රශ්න සභාවේ න්‍යාය පත්‍රයට ඇතුළත් වෙමින් සභා වාරයෙන් සභා වාරයට කල්යමින් පවතී.
පියුමාල් හේරත් (එ.ජ.නි.ස.), හිටපු විපක්ෂ නායක ජේ.සී අලවතුවල, හිටපු ධීවර හා කෘෂිකර්ම අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා, රංජිත් ගුණසේකර (ප්‍ර.ප.) රිස්වි ජවහර්ෂ (එ.ජ.නි.ස.) සහ සමන්ප්රිය හේරත් (එ.ජ.නි.ස.) යන මන්ත්‍රීවරුන් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් පිළිතුරු බලාපොරොත්තුවෙන් මේ වනවිට ප්‍රශ්න 10 ක් ඉදිරිපත් කර තිබේ.
මේවාට පිළිතුරු ලබාදිය යුතු වයඹ ප්‍රධාන අමාත්‍යවරයා වූ දයාසිරි ජයසේකර මහතා මෙන්ම ප්‍රශ්න ඉදිරිපත් කළ ධීවර හා කෘෂිකර්ම අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා, විපක්ෂ නායක ජේ.සී. අලවතුවල මහත්වරු මෙවර පාර්ලිමේන්තුවට පත්ව සිටිති.