විදුලිබිල නිසි ලෙසින් නොගෙවීම නිසා වයඹ පළාත් ධීවර කෘෂිකර්ම, සත්ත්ව නිෂ්පාදන ඇමති සනත් නිශාන්ත පෙරේරා මහතා පදිංචි නිවසේ විදුලිය විසන්ධි කිරීමට අද (23දා) පියවර ගත් බව විදුලිබල මණ්ඩලයේ හලාවත ප්රධාන ඉංජිනේරු කාර්යාලය පවසයි.
පසුගිය වසර දෙකක පමණ කාලයේදී ආරච්චිකට්ටුව සෙංගල් ඔය අසල පිහිටි එම නිවසේ හා කාර්යාලයේ පරිභෝජනයට ගත් විදුලි බිල ගෙවන ලෙස ඒ මහතාට විටින්විට මණ්ඩලය විසින් දැනුම්දෙනු ලැබුවද එම බිල ගෙවීමට ඒ මහතා උනන්දු නොවූ බවත්, දේශපාලන බලය නිසා විදුලිය විසන්ධි කිරීමේ තීරණයකට නොගිය බවත් හෙළි විය.
ඒ අනුව විදුලි බිල සහ දඩ මුදල වෙනුවෙන් ඒ මහතා විසින් මණ්ඩලයට රුපියල් දාහතර ලක්ෂයක මුදලක් ගෙවීමට ඇති අතර, එම මුදල වහාම ගෙවන ලෙසට දන්වා ඇතත් එම නියෝගය පවා ඒ මහතා පිළිපැද නැති නිසා තමන් අද (23දා) විදුලි විසන්ධියකට පියවර ගත් බවත් එම නිලධාරියා කීය.
මෙම විදුලි විසන්ධි කිරීම පිළිබඳව විමසූ විට සනත් නිශාන්ත පෙරේරා මහතා බොහෝම සැහැල්ලුවෙන් පිළිතුරු දෙමින්,
“මොනවා කරන්නද විදුලි බිල නොගෙව්වොත් ලයිට් කපනවානේ. ඕක ගණන් ගන්න එපා.මමත් ගෙව්වෙ නැහැ කියලා කපාවි තමයි" යනුවෙන්ද කීය.
ඒ මහතා පසුගිය කාලයේ වයඹ විදුලිබල සහ බලශක්ති ඇමතිවරයා වශයෙන්ද කටයුතු කර ඇත.
හලාවත සුපුන් හංසන