ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන වමේ පොදු අපේක්ෂකයෙකු සම්බන්ධව ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ විය හැකිද යන්න පිළිබඳව සාකච්ඡා කළත් මේ දක්වා එම අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කර නොමැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය.
ප්රජාතන්ත්රවාදය, ආර්ථික සහ ජාතික ප්රශ්නය සම්බන්ධව ප්‍රතිපත්තිමය රාමුවක් සාදාගෙන ජනාධිපතිවරණයට වමේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අදාළව සාකච්ඡා කළද මේ දක්වා අවසන් තීරණයකට එළඹ නැතැයි ජයගොඩ මහතා පවසා සිටියේය.
එහිදි නව සමසමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂය සහ නව ප්රජාතන්ත්රවාදී මාවෝවාදී ලෙනින් පක්ෂය සමග මෙම සාකච්ඡා සිදුකරමින් යන බව ඔහු සඳහන් කළේය.
වමේ පොදු අපේක්ෂකයා සඳහා නොයෙක් නම් ඉදිරිපත් වී තිබෙන බවත්, ඒ අතර පෙරටුගාමී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් හෙවත් කුමාර් මහත්තයාගේ නමද තිබෙන බවත්, ඔහු වමේ පොදු අපේක්ෂකයා බවට අවසන් එකඟතාවකට පැමිණ නැති බවත් ජයගොඩ මහතා ප්‍රකාශ කළේය.
පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සම අයිතිය ව්‍යාපාරයේ කැනඩා ශාඛාව විවෘත කිරීම ඉකුත් 11 වැනිදා සිදුකළ අවස්ථාවේදී කුමාර් ගුණරත්නම් දේශනයක් පැවැත් වූ බවත්, මේ වනවිට කුමාර් ගුණරත්නම් කැනඩාවේ රැඳී සිටින බවත්ය.