පසුගිය වසර කිහිපයේ ශ්‍රී ලංකාව තුළ සිදු කළ වකුගඩු සැත්කම්වලට අදාළ සියලුම ලිපිගොනු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට බාරදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා මහතාට ඊයේ (02දා) නියම කළේය.
ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවාගෙන සිටි මෙම සිද්ධියේ පළමු සැකකරු වන ඉන්දියානු ජාතික විජිතගිරි සුරේෂ් ලක්ෂමන් කුමාර් නමැත්තා එම කඳවුරෙන් පළා ගොස් ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය කළ දැනුම්දීමක් පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා එම සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් වරෙන්තු නිකුත් කළේය.
සිද්ධියට අදාළව කරන ලද පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
වකුගඩු ජාවාරම් කරන බවට සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා මහතා කළ පැමිණිල්ලකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ අතර, එහි ප්‍රගතිය අධිකරණයට දැනුම්දුන් කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.එච්. චන්ද්‍රතිලක මහතා මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දියානු ජාතිකයන් 06 දෙනාම ලංකාවේ රෝහල්වලදී වකුගඩු සැත්කම්වලට භාජනයවී ඇති බව පරීක්ෂණවලදී හෙළිවූයේ යැයි කීය.
මොවුන්ට අමතරව 2014 සහ 2015 වසරවලදී තවත් විශාල පිරිසක් ලංකාවේ පෞද්ගලික රෝහල්වලදී වකුගඩු සැත්කම් කරවාගෙන ඇතැයිද, එම සැත්කම් කරවාගැනීම සඳහා ලබා දී ඇති ලේඛන සත්‍ය ඒවාද? නැත්නම් අසත්‍ය ඒවාද? යන්න හෙළිකර ගැනීම අවශ්‍ය වී ඇතැයිද, ඒ සඳහා අදාළ ලේඛන පරීක්ෂා කිරීමට අවශ්‍ය වී ඇතැයිද දැනුම්දුන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති නෙවිල් සිල්වා මහතා එම සැත්කම් කරවාගැනීම සඳහා ලබාදුන් ලේඛන තමන්ට ලබාදෙන ලෙස සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාලවරයාට නියම කරන්නැයි ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කළේය.